එජාපය හා පොහොට්ටුව නාම යෝජනා ලබාදීමේ දැඩි අර්බුදයක්
අටවන පාර්ලිමේන්තුව මාර්තු මස 02 දින විසුරුවා හැරෙන බවට දේශපාලන ආරංචි පැතිර යෑමත් සමග ප්‍රධාන පක්ෂවලින් නාම යෝජනා අපේක්ෂා කරන පිරිසද වැඩි වී තිබේ. මේ අනුව සෑම පක්ෂයකම නාමයෝජනා මණ්ඩලද දැඩි අසීරුතාවකට මුහුණ පා තිබේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙත්, එක්සත් ජාතික පක්ෂයෙත් මෙම තත්ත්වය උග්‍ර වී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛව ගොඩනැගී ඇති ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග කිරීමට පක්ෂ රැසක් සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, ජාතික නිදහස් පෙරමුණ, මහජන පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ ආදී පක්ෂ ඉන් ප්‍රධාන වේ.
ඊට අමතරව වියත් මග වැනි සිවිල් සංවිධාන රැසක්ද තම සන්ධානයේ පොහොට්ටුව ලකුණින් තරග කිරීමට නාමයෝජනා අපේක්ෂාවෙන් සිටියි. මෙම තත්ත්වය නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනගන අවස්ථාවේ දිස්ත්‍රික්කවල සිටි ප්‍රධාන චරිත රැසකට නාම යෝජනා නොලැබීමේ තත්ත්වයක් උද්ගත වීමත් සමග මෙම අර්බුදය හටගෙන ඇත.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ගොඩනැගෙන සන්ධානයෙන්ද නාම යෝජනා අපේක්ෂාවෙන් සිටින රනිල් පාර්ශ්වයේ හා සජිත් පාර්ශ්වයේ අතර මතභේදාත්මක ගැටුම් ඇති වී තිබෙන බව වාර්තා වේ. නායකයන් දෙපළ තමන්ට හිතවත් අයට නාමයෝජන ලබාදීමට ගන්නා උත්සාහය නිසා මෙම තත්ත්වය උග්‍ර වී ඇත.
ප්‍රධාන පක්ෂ දෙකේම මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් දිස්ත්‍රික්ක පදනමින් සැලකිය යුතු ප්‍රමාණයක් සිටින අතර ඔවුන්ට අනිවාර්යයෙන්ම නාම යෝජනා ලබා දිය යුතු වේ. ඊට අමතරව දෙපාර්ශ්වයෙන්ම පිල් මාරු කළ මන්ත්‍රීවරුන්ටද අපේක්ෂකත්වය ලබාදීමත් සමග අලුතින් අපේක්ෂකත්වය පුරප්පාඩු ඇත්තේ සීමිත සංඛ්‍යාවක් නිසා මෙම ගැටලුවට මුහුණ පා ඇත.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වීමට ප්‍රථම ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල අනුව වසර හතරහමාර සපිරෙන්නේ මාර්තු මස 02 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් හැටනව දෙනකුට විශ්‍රාම වැටුප අහිමිවේ. ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් හතලිස් එකකට, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් දාහතකට, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අටකට හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකුට මෙසේ විශ්‍රාම වැටුප අහිමි වේ.
චමින්ද සේනාරත්න
