විශේෂාංග

එයා පිට්ටනියේ ඉන්න දවසට මම වැඩිපුරම ඉන්නේ දෙවියෝ බුඳුන් ළඟ

පසුගිය වසරේ ජූලි මාසයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ, ඕස්ට්‍රේලියාව සමඟ තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවැනි තරඟය පැවැත්වෙමින් තිබුණි. එහිදී මුලින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව පළමු ඉනිමට ලකුණු 364ක් ලබාගත් අතර දිනේෂ් චන්දිමාල්ගේ සුපිරි පිතිතරඹයෙන් පසු ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 554ක් ලබාගැනීමට සමත්විය. පළමු ඉනිමට වඩා ලකුණු 190ක් පිටුපසින් සිට නැවත ඕස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම ඇරඹූ අතර සිදුවුණේ කිසිවෙකුත් නොසිතූ සිදුවීමකි. ඒ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සියලුදෙනා ලකුණු 151ට දැවීයාමයි. ඒ අනුව ඉනිමකින් සහ ලකුණු 39කින් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය ජයග්‍රහණය කළේය. තරඟයේ වීරයා වූයේ එක් ඉනිමකදී කඩුලු හය බැඟින් ඉනිම දෙක තුළදී කඩුලු 12ක් බිඳහෙලූ ප්‍රභාත් ජයසූරියයි. එදා මංගල තරඟයට ක්‍රීඩා කරමින් එවන් දක්ෂතාවක් දැක්වූ ප්‍රභාත් අද ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධානම දඟපන්දු යවන්නා බවට පත්ව තිබේ. දන්නා දේ එසේ වෙද්දී ඔහු පිළිබඳව නොදත් දේ ගැන මේ කතාබහ ප්‍රභාත්ගේ ආදරණීය බිරිඳ රනීෂා මිරැන්ඩෝ සමඟිනි.

 

*මේ දවස්වල රනීෂා ඉන්නේ හරි සතුටින් කියලා ආරංචියි. ඇත්තද?

ඒක ඇත්ත. මං කවදාවත් නැති තරම් සතුටකින් දැන් ඉන්නේ. ඒ ප්‍රභාත් නිසා. එයා ජාතික කණ්ඩායමට එන්න ගොඩාක් හීන දැක්කා. අද වෙනකොට එයා අපේ ටෙස්ට් කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙක් වෙලා. ඒ ගැන සතුටු නොවී කොහොමද?

 

*රනීෂාට ප්‍රභාත්ව මුණගැහුනේ කොහොමද?

මුලින්ම එයා මුණගැහුනේ ෆේස්බුක් එකෙන්. ඒත් චැට් කළේ එහෙම නෑ. මං මීගමුවේ. දවසක් මං බඩු වගයක් ගන්න වත්තල සුපර් මාර්කට් එකකට ආවා. ඒ 2015 අවුරුද්දේ දවසක. එදා තමයි එයාව මුලින්ම දැක්කේ. එදා අපි කතා කළා. පස්සේ ෆේස්බුක් එකෙන් චැට් කළා. අන්තිමේ ඒ යාළුකම ආදරයක් දක්වාම දුරදිග ගියා.

 

*එතකොට ප්‍රභාත් මුණගැහෙද්දි එයා ක්‍රිකට් ක්‍රීඩා කරනවා කියලා දැනගෙන හිටියද?

ක්‍රිකට් ගහනවා කියලා දැනගෙන හිටියා. ඒත් ඒ දවස්වල ක්ලබ්වල තමයි ක්‍රිකට් ගැහුවේ.

 

*කෙනෙක් ගැන කැමැත්තක් ඇතිවෙන්නත් හේතුවක් තියෙන්න එපැයි. ඔයා ප්‍රභාත්ට කැමතිවුණේ ඇයි?

එයා හරි අහිංසකයි. අම්මට තාත්තට ගොඩාක් ගරුකරන කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් බිරිඳට වරදක් කරන්නේ නෑනේ. ඒ දේවල් එක්ක මං ටිකක් කල්අරන් එයාට කැමතිවුණා.

 

*හැබැයි මුලදි නම් ප්‍රභාත්ට ඔයාලගේ ගෙදරින් විරුද්ධ වුණාලු නේද?

මුලදි ටිකක් විරුද්ධ වුණා. ඒත් මං එයාව අතෑරියේ නෑ. අන්තිමේ අපේ ගෙදරින් ප්‍රභාත්ට එන්න කියලා කැමැත්ත දුන්නා. පස්සේ 2018 ජූලි 21 වැනිදා අපි විවාහවුණා. දැන් අපිට අවුරුදු හතරක පුංචි දුවෙක් ඉන්නවා.

 

*ඔයා ප්‍රභාත් ඉන්න මැච් බලන්නේ නෑ කියන්නේ ඇත්තද?

(සිනාසෙමින්) ඒක ඇත්ත. මට එයා ඉන්න මැච් බලන්න බය හිතෙනවා. මට හිතෙනවා මං බලද්දි එයාට කඩුලු ගන්න බැරිවෙයි කියලා. ඒ නිසා එයා කඩුලු කීයක් ගත්‍තද ලකුණු කීයක් ගැහුවද බලන්නේ මැච් එක ඉවරවුණාට පස්සේ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා. ඒත් මැච් නොබැලුවට මැච් තියෙන දවසට නිතරම දෙවියෝ බුඳුන් ළඟට ගිහින් වැඳලා ඉල්ලනවා ප්‍රභාත්ට කඩුලු ලැබෙන්න කියලා.

 

*සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලොකු කාන්තා ආකර්ෂණයක් තියෙනවනේ. ප්‍රභාත්ටත් එහෙම ඇති නේද?

(සිනාසෙමින්) ඇති ඇති. ඒත් මං විහිලුවට වගේ කියනවා “දැන් කොල්ලට කෙල්ලෝ එහෙම මැසේජ් කරනවා ඇති නේද” කියලා. ඒ වෙලාවට එයා විහිලුවට කියනවා “ඔව් ඔව් දිගට හරහට මැසේජ් එනවා ඔයාට පෙන්නන්න මං මේ තියාගෙන ඉන්නේ” කියලා. ඒත් එයාට එහෙම ආදරේ කරන පිරිසක් ඉන්නවට මං ආසයි.

 

*ප්‍රභාත්ව ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්න එයාගේ අම්මා ගොඩාක් කැපකිරීම් කරාලු නේද?

ඔව්. එයාගේ අම්මා ක්‍රිකට්වලට හරිම ආසයි. එයා 1996 ලෝක කුසලානයත් ප්‍රභාත්ව ඔඩොක්කුවේ තියාගෙන බැලුවලු. ඉස්සර ප්‍රභාත් ක්‍රිකට් ගහනවට එයාගේ තාත්තා කැමතිවෙලා නෑ. ඉතින් තාත්තට හොරෙන් තමයි අම්මා ප්‍රභාත්ව පුහුණුවීම්වලට යවලා තියෙන්නේ. හැබැයි දැන් නම් තාත්තාත් ක්‍රිකට්වලට ආසයි.

 

*අපේ මතකය හරි නම් ප්‍රභාත් මුලින්ම ජාතික කණ්ඩායමට එන්නේ 2018 අවුරුද්දේ නේද?

ඔව්. 2018 දි දකුණු අප්‍රිකාව එක්ක එක්දින තරඟමාලාවට එයා ක්‍රීඩා කළා. ඒත් ප්‍රභාත් කවුද කියලා හැමෝම දැනගත්තේ පහුගිය අවුරුද්දේ තමයි.

 

*ඉස්කෝලේ කාලේ එහෙම ප්‍රභාත් ටිකක් දඟ ළමයෙක්ලු. ඒ ගැන එහෙම එයා ඔයත් එක්ක කියලා නැද්ද?

(සිනාසෙමින්) එයාගේ අම්මා මගෙත් එක්ක කියලා තියෙනවා ප්‍රභාත් පොඩි කාලේ හරි දඟයි කියලා. ඉස්කෝලේ කාලේ එයාට තිබුණු ලොකුම චෝදනාව වුණේ කොයි වෙලාවකවත් පන්තියේ නෑ කියන එකලු. ඇයි ඉතින් උදේට ඉස්කෝලේ යනවා කියලා ගියාට දවසම ඉන්නේ පිට්ටනියෙලු. අනික තමයි එයා ඒ කාලේ පාරේ යද්දි ගල් කැටයක් පේන්න බැරිලු. අහුලගෙන අත කරකවලා බෝල් කරන විදියට විසිකරනවලු. ඉතින් අම්මා බණිනවලු පාරේ යන මනුස්සයෙක්ගේ නැත්නම් වාහනේක වදියි කියලා. ඒත් මෙයා කියන දෙයක් අහන්නේම නැතිලු.

 

*ඔය අතරේ එයාට දරුණුවටම රෙස්ලින් පිස්සුවකුත් තිබුණලු නේද?

ඒත් පොඩි කාලේ. ප්‍රභාත් හැමදාම වගේ රෙස්ලින් සීඩී ගෙනැත් මල්ලිත් එක්ක බලනවලු. හැබැයි ටිකකින් දෙන්නා නැතිලු. බලද්දි කාමරේ දොර වහගෙන මල්ලිත් එක්ක රෙස්ලින් ගහගන්නවලු. එයාගේ අම්මා කියන විදියට දිනුවම උස්සන්න කාඩ්බෝඩ්වලින් රෙස්ලින් බෙල්ට් එකක් එහෙමත් හදාගෙන ඉඳලා තියෙන්නේ.

 

*එතකොට එයා ගෙදරදී මොන වගේ කෙනෙක්ද?

හරිම නිහඬ කෙනෙක්. කටින් වචනයක් ගන්න හරි අමාරුයි. වෙලාවකට මට තරහත් යනවා. හැබැයි එයා ලස්සනට අඳින්න කරන්න ආසයි. බතුයි පරිප්පුයි පොල් සම්බෝලයි කරවල තෙල් දාලයි කන්න පුදුම ආසාවක් තියෙන්නේ. නරකකට තියෙන්නේ ටිකක් වැඩිපුර පැණි රහ කන එක තමයි.

 

*අවසාන වශයෙන් ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳක් වෙන්න ලැබුණු එක ගැන රනීෂාට තියෙන්නේ මොන වගේ හැඟීමක්ද?

ඒක නිහතමානී ආඩම්බරයක් කියලත් කියන්න පුළුවන්. මොකද ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියන්නේ රටක් ලෝකයක් දන්න කෙනෙක්නේ. හැබැයි ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳකට ක්‍රිකට් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද ක්‍රිකට් ක්‍රීඩකයෝ කියන්නේ හරිම කාර්යබහුල පිරිසක්නේ. ඉතින් ඒ අය වෙනුවෙන් බිරිඳකට ගොඩාක් කැපකිරීම් කරන්න වෙනවා.

 

රුවන් එස්.සෙනවිරත්න