News

එල් ටි ටි ය වළ දැමු රත්රන් හා ආයුධ සොයා කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ කැනීම් කරයි

එල් ටි ටි සංවිධානය අවසන් යුධ සමයේ කිලිනොච්චිය,වට්ටකච්චි ප්‍රදේශයේ රත්රන් හා ආයුධ තොගයක් වළ දමා ඇති බවට ලද තොරතුරක් මත ඊයේ(24) සවස කිලිනොච්චිය විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් ප්‍රදේශයේ කැනීම් සිදුකරනු ලැබීය.

කිලිනොච්චිය විශේෂ කාර්ය බළකා නිළධාරීන් වෙත ලද තොරතුරක් මත කිලිනොච්චිය විශේෂ කාර්ය බළකාය හා කිලිනොච්චිය පොලිසිය විසින් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගන් නියෝග යටතේ ප්‍රදේශයේ කැනීම් සිදුකෙරිණ.

පැය කිහිපයක් අදාළ ස්ථානයේ කැනීම් කටයුතු සිදුකරනු ලැබුවද ආරක්ෂක අංශ වෙත කිසිදු භාණ්ඩයක් හෝ උපකරණයක් නොලැබිණ අතර, කැනීම් කටයුතු ඊයේ(24) සවස නවතා දැමු බවද පොලිසිය පැවසීය.

මීට පෙරද අවස්ථා ගණනාවකදී කිලිනොච්චිය,අරවියල්නගර් ප්‍ර‍දේශයේ හා මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ එල් ටි ටි සංවිධානය වළ දැමු රත්රන් පවතින බවට ලද තොරතුරු මත ස්ථාන කිහිපයක කැනීම් කටයුතු සිදුකළද කිසිවක් සොයා ගැනීමට හැකියාවක් නොලැබිණ.

කැනීම් වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්, කිලිනොච්චිය පොලිස් නිළධාරීන්, කිලිනොච්චිය යුධ හමුදා නිළධාරීන්ද එක්ව සිටියහ.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙ‍යවයි.

වවුනියාව -මාධව කුලසූරිය