නවතම ප්‍රවෘත්ති

ඒ කාලේ දරුවෝ ලැබෙන්න හිටපු අම්මලාගේ දුක්ගන්නාරාළ වුණේ මමයි – පියසීලි යාපා

මීට වසර 83 කට පෙරාතුව, එනම් 1942 ජනවාරි 02 ගම්පහ, උඩුගම්පලට නුදුරුව ඇති දොරනාගොඩ ගමේ උපත ලැබූ ‘පියසීලී යාපා’ 1968 වසරේ පටන් පුරා වසර 26ක දීර්ඝ සේවා කාලයකින් පසු 1994 වසරේදී විශ්‍රාමලත් රජයේ වින්නඹු සේවිකාවකි. 1968 දී පියසීලිට වින්නඹු සේවිකාවක ලෙසින් සිය මුල්ම පත්වීම ලැබුණේ නුවරඑළි දිස්ත්‍රික්කයේ හඟුරන්කෙතට නුදුරුව පැවති ලංකා සිතියමේ අතිදුෂ්කර ගම්මානයක් වූ කරලියැද්ද වසමටය. නමුත් ඈ ඒ දුෂ්කරකම් ඉවසා දරාගෙන ඉමහත් වෘත්තිය කැපවීමෙන් සිය රාජකාරිය අකුරටම ඉටුකළ අයෙකි. ඇයගේ එම 26 වසරක වෘත්තිය දිවියේ අත්දැකීම් පාදක කරගනිමින් මේ ලිපිය සැකසේ.

මේ කියන්නේ 50 – 60 දශකය ගැනය. එකල ගමේගොඩේ පාසල්වල වූ ලොකුම විභාගය 10 වසර විභාගයයි. රජයේ රැකියාවකට අයැදුම් කිරීමට එකල සැපිරිය යුතු වූ ඉහළම සුදුසුකම වූයේ ඒ විභාගය සමත්වීමයි. එකල ඉගෙනුමට උපන්ගෙයිම හපනියක් වූ විගොඩ බෞද්ධ පාසලේ පියසීලි ද ඒ විභාගය ඉහළින්ම සමත් විය. දරු දැරියන් හයක් සිටි පවුලේ දෙවැනි දරුවා වුණු ඇයට තිබුණු ඊළඟ අපේක්ෂාව වූයේ රජයේ රැකියාවකි.

“ම‍ට මතක විදියට මං ශිෂ්‍යගුරු තරඟ විභාගේ දෙසැරයක් ලිව්වා. සාත්තු සේවිකා විභාගයත් මං තුන්සැරයක් ලිව්වා. ඒත් ඉතින් රැකියාවක් නම් ලැබුණේ නෑ. පස්සේ වින්නඹු සේවිකාවන් බඳවා ගැනීමේ විභාගය කරලා බලන්න හිතුවා. ඔන්න ඒකට නම් මට කැඳවීම් ලිපිය ආවා. ලියුම ආවම මට පුදුම සතුටක් දැනුණේ. සම්මුඛ පරීක්ෂණේට ගියාම ඒකෙනුත් සමත්වුණා. ඊටපස්සේ කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ අවුරුද්දක් වගේම මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව මාස හයක පුහුණුවක් තිබුණා. ඒක අවසන් කළාට පස්සේ 1968 අවුරුද්දේ වින්නඹු සේවිකාවක් විදියට පත්වීම ලැබුණා. මට මුල්ම පත්වීම ලැබුණේ ලංකාවේ අතිදුෂ්කර පැත්තක් වෙච්චි නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙතට නුදුරු කරලියද්ද වසමට.”

එදා කරලියද්ද වසමේ වින්නඹු සේවයට ගිය මුල්ම වින්නඹු සේවිකාව වූයේ පියසීලි ය. ඒ වනවිට හප්පවරි අම්මා නම් වයස කාන්තාවක් වින්නඹු කාර්යයේ නිරතව සිටියද ඒ පාරම්පරික සිරිතට මිසක නිල රාජකාරියක් ලෙසින් නොවේ.

“කරලියද්ද වසමේ තියෙන අධිකාරිගම කියන ගමේ අපේ මාමා කෙනෙක්ගේ ගෙයක් තිබුණා. ඒ ගෙදර නැවතිලා තමයි රාජකාරි කළේ. හරියට පාරක්තොටක්වත් නැති පළාතක්. බලන බලන අතේ කැලේ. ඒත් තරුණ වයස නිසා වෙහෙසක් නම් දැනුණේ නෑ. ඔය කාලේ දරු ප්‍රසූතින් වුණේම ගෙවල්වල. ඉතින් අම්මා කෙනෙක්ට දරුවෙක් ලැබෙන්න අමාරුවුණාම රැයක් දවාලක් නෑ මාව හොයාගෙන එනවා. ගමන පයින්මයි. සමහරක් වෙලාවට කිලෝමීටර් ගාණක් යන්න වෙනවා. ඒ යද්දි අම්මට විලිරුදාව හැදිලා දරුවා ලැබෙන්න ඔන්න මෙන්න. මං ඉතින් ගමන් මහන්සිය බලන් නැතුව දරු ප්‍රසූත කරවනවා. ගොඩාක් වෙලාවට ඒ කරන්නෙත් කණ කුප්පි ලාම්පු එළියෙන්.”

එපමණක් නොව දෙසතියකට වරක්වත් මව්, ළදරු සහ ළමා සායන පැවැත්වීම සඳහා පියසීලිට පයින්ම හඟුරන්කෙත නගරය වෙත යාමට සිදුවිය. නගරයට තිබූ මුළු දුර කිලෝමීටර් හයකි.

“ඔය අතරේ මං විවාහ වුණා. අයියගේ යාළුවෙක් බැන්ඳේ. බැඳලා මාස කීපයක් යනකොට මටත් දරුවෙක් ලැබෙන්න ආවා. ඒත් මං බඩත් උස්සන් රාජකාරිය කළා. දරුවා ලැබුණම ඒ කිට්ටුවෙන්ම තිබුණු ගෝනගන්තැන්න මාතෘ නිවාසයේ ඉඳන් වින්නඹු සේවය කළේ. කරලියද්දේ අවුරුදු 2ක්, ගෝනගන්තැන්න මාතෘ නිවාසේ අවුරුදු 8කුත් විදියට අවුරුදු 10ක් හඟුරන්කෙත මම වින්නඹු සේවිකාවක් විදියට රාජකාරි කළා.”

කරලියද්දි වසමේ රාජකාරි කළ අවුරුදු දෙකට වඩා ගෝනගන්තැන්න මාතෘ නිවාසයේ රාජකාරි කළ ඉතිරි අවුරුදු කිහිපයම පියසීලිට ගෙවා දැමීමට සිදුවූයේ දැඩි දුෂ්කරතා මැදය. ඒ අවධියේදී දවසේ විසිහතර පැයම ඒ වෙනුවෙන් කැපකරන්නටයි පියසීලිට සිදුවූයේ. නමුත් ඇය රාජකාරිය දේවකාරියක් සේ සලකා කටයුතු කළ අතර ඇය සිදුකළ දහස් ගණනක් වූ දරු ප්‍රසූතීන් අතර එකදු මවක් හෝ බිළිදෙකු අවාසනාවන්ත ඉරණම්වලට ගොදුරුවූයේ නැත.

“ගෝනගන්තැන්නේ හිටපු අවුරුදු අටට මං දරු ප්‍රසූතීන් 1500 කට වඩා කළා. කවදාවත් එකම අම්මෙක්වත් දරුවෙක්වත් මරණයට පත්වුණේ නෑ. හැබැයි මං වැඩ බාරන්නකොට නුවරඑළිය දිස්ත්‍රික්කේ මව් මරණ අනුපාතිකය සජීවී උපත් 1000කට අනෙකුත් දිස්ත්‍රික්කවලට වඩා ඉහළ මට්ටමක තිබුණේ.”

නමුත් රැකියා ජීවිතේ අමතක නොවුණු දවස් ද පියසීලීට නොතිබුණාම නොවේ.

“දවසක් අම්මෙක් එක්ක ආවා. ඒ අම්මට දරුවා ලැබෙන්න ඔන්න මෙන්න. ඒත් පැය දෙක තුනක් ගියත් දරු ප්‍රසූතිය කරගන්න මට බැරිවුණා. දැන් අම්මටත් හරි මහන්සියි. ඒ අතරේ මට තේරුනා අම්මගේ ප්‍රතිචාර අඩුවෙනවා කියලා. මට බය හිතුණා. ටිකකින් නාඩි වැටෙන එකත් අඩුවුණා. ඒ වෙලාවේ මං සෑහෙන්න කලබල වුණා. එදා මාතෘ නිවාසය බාර ඩොක්ටර් හිටියෙත් නෑ. මං මගෙත් එක්ක හිටපු සේවිකාවට අම්මා එක්ක එකදිගට කතා කරන්න කියලා හරස් කැපුමකින් දරුවව එළියට ගත්තා. ඔය වාගේ අම්මලා කීපදෙනෙක් දරු ප්‍රසූතිවලදි අමාරුවෙලා නාඩි වැටෙන්නේ නැතුව ගියා. ඒත් කොහොම හරි කරලා ගිය පණ ඇදලා ගත්තා.”

දසවසරක දුෂ්කර පළාත් සේවයෙන් පසු පියසීලිට 1978 දී සිය උපන් ගම් පළාතට ස්ථාන මාරුවීමක් ලැබිණි. ඒ දොරනාගොඩටය. එතැන් පටන් වින්නඹු සේවයෙන් විශ්‍රාම යනතෙක් පුරා අවුරුදු 16ක්ම ඈ සේවය කළේ දොරනාගොඩය.

“මං යනවා කියලා දැනගත්තම මාතෘ නිවාසෙට ගොඩාක් කාන්තාවෝ මාව බලන්න ආවා. ආවේ නිකන් නෙවෙයි කුරක්කන්, ඉරිඟු, තල, මුං වගේ භවභෝග අරගෙන. පුංචි සාදයකුත් ඒ උදවියම සංවිධානය කරලා තිබුණා. ඒ අය මම එන එකට ගොඩාක් දුක්වුණා.”

 

*ඒ කාලේ රාජකාරි නිල ඇඳුමක් එහෙම තිබුණද?

“ඔව් ඔව් නිල්පාට වාටිය තිබුණු සුදු ඔසරිය තමා ඇඳුම. දොරනාගොඩට ආවට පස්සේ දුඹුරු පාට කොලරය තියෙන සුදු ගවුම හම්බුණා. රාජකාරි කරන්න කහපාට රැලේ බයිසිකලේකුත් ලැබුණා.”

පියසීලිගේ රාජකාරි සමය තුළ එවකට තවත් අමතක නොවන කාලපරාසයක් වූයේ 1988 – 89 භීෂණ සමයයි. ඇය ධරණීට පැවසුවේ ඒ සමය මැරි මැරී උපන් අඳුරු බියජනක කාලසීමාවක් බවයි. එහෙත් ඒ සියලු දුෂ්කරතා මැද වුවද පියසීලි රාජකාරියේ වගකීම අමතක කර තිබුණේ නැත.

“ඒ කාලේ නම් මතක් කරන්නවත් කැමති නැති කාලයක්. උදේ නැගිටිනකොට ගමේම පෝස්ටර් ගහලා ‘රාජකාරියට මරණ දඬුවම’ කියලා. ඒක නිසා කවුරුත් ගෙයින් එළියටවත් බැස්සේ නෑ. ඒ අතරේ සමහර රජයේ සේවකයෝ වෙඩි තියලා මරලා දාලා තිබුණා. ඒත් මගේ රාජකාරි වගකීම එක්ක මට මරණ බයේ හරි රාජකාරිය කරන්න වුණා. ඒත් කොයි මොහොතේ වෙඩිකන්න වෙයිද කියන බය හිතේ ලොකුවටම තිබුණා.”

ඒ කාලයේ සිදුවූ සිදුවීමක් ඇයට තාමත් හොඳටෝම මතකය. එදා පියසීලිට උඩුගම්පළ සායනය තිබූ දිනයකි. ඇය රාජකාරියට යනවිට යතුරුපැදියක නැගී පිටුපසින් පැමිණී පියසීලි ඊට පෙර නොදැක තිබූ තරුණයෙක් “ආ නෝනා රාජකාරියට යනවා වගේ” යැයි කියා වේගයෙන් ඉගිලුනේය. ඉතින් එදා රාත්‍රිය ඇය ගෙවාදැමීමට සිදුවූයේ මරණ බයෙන් බවයි පියසීලි පැවසුවේ.

“එදා රෑ කවුදෝ මනුස්සයෙක් ඇවිදින් දොරට ගහලා දොර අරින්න කිව්වා. මම හිතුවා දවල් වුණු සිද්ධියත් එක්ක මාව මරන්න ගෙනියන්න ඇවිත් කියලා. පස්සේ මහත්තයා දොර ඇරලා බැලුවා. ඒ බලද්දි තැපැල් නයින්ටි බයික් එකක මනුස්සයෙක් ඇවිත් දොර ගාව ඉන්නවලු. දොර ඇරපු මහත්තයා දැක්ක ගමන් ඒ මනුස්සයා කිව්වලු නෝනාට බබෙක් ලැබෙන්න ඉන්නේ, අමාරුයි එක්ක යන්න ආවේ කියලා. ඒත් දවල් වුණු සිද්ධියත් එක්ක හිතේ සැකයක් තිබුණා ඒ මනුස්සයා කියන්නේ ඇත්තමද කියලා. පස්සේ ඕන දෙයක් වෙද්දෙං කියලා රාජකාරි ආම්පන්න ටිකත් අරන් බයික් එකේ පිටිපස්සේ ලැගේජ් එකට නැගලා ඇස් පියාගත්තා. අයෙමත් ඇස් දෙක ඇරියේ බයික් එක නැවැත්තුවම. බලද්දි ඒ මනුස්සයා මාව එක්ක යන්න ඇවිදින් තිබුණේ ඇත්තටම. ඒත් ඉතින් ඒ කාලේ රටේ තිබුණු අර භීෂණය නිසා පණ බයේ තමයි රාජකාරි කළේ.”

 

*ඒ කාලේ සෑහෙන දරු උපත් සිදුවුණාලු නේද?

“ඔව් ඒ කාලේ හැම පවුලකම අඩුම දරුවෝ පහක් හයක්වත් හිටියා. ගෑනු ළමයි ඉන්න පවුල්වල කළේ කෙල්ලෝ වැඩිවියට පත්වුණු ගමන් පවුලේ බර අඩුකරන්න කියලා කසාද බන්දලා දුන්නු එක. ඉතින් අවුරුදු 14, 15, 16 වගේ ළාබාල කෙල්ලෝ තමා බඩවල් උස්සන් දරුවෝ ලැබෙන්න කියලා වැඩිපුරම මං ළඟට ආවේ. මට අද වගේ මතකයි එකම අම්මා 14 වතාවක් දරුවෝ ලැබෙන්න මගේ ළඟට ආවා.”

වින්නඹු සේවිකාවක් ලෙස සේවය කරන අවධියේ පියසීලී වින්නඹු සේවයේ යෙදී තිබුණේ රැකියාවක් ලෙස සිතා නොව සමාජ සේවයක් සේ සලකමිනි. ඇය දරුවෙක් ලැබෙන්නට සිටි වීදි සිඟන්නියකගේ සිදුකළ දරූ ප්‍රසූතිය එයට කදිම උදාහරණකි.

“එදා සෙනසුරාදාවක්. දවාලේ මට ආරංචියක් ආවා දරුවෙක් ලැබෙන්න ඉන්න හිඟන ගෑනු කෙනෙක් මහපාරේ වැටිලා ඉන්නවා කියලා. ඒ ආරංචිය අහද්දි දෙවියනේ මට උන්හිටි තැන් අමතක වුණා. ඒ ගමන්ම රාජකාරි ආම්පන්න ටිකක් අරගෙන ඒ කියපු තැනට ගියා. බලද්දි ඒ කතාව ඇත්තක්. ඊටපස්සේ මං ඉක්මණින් ළඟ තිබුණු ගෙදරකට දුවලා ගිහින් ඉටිකොළ කෑලි කීපයක් ඉල්ලගෙන අර ගෑනු මනුස්සයා හිටපු තැන වටේට ආවරණය කළා. පස්සේ හරියටම පැය බාගයක් යද්දි ඒ දරු ප්‍රසුතිය සිදුකළා. ළඟ ගෙවල්වලින් උණුවතුර ටික, කෝපි ටික වගේම අම්මට දරුවට රෙදි ටික ලැබුණා. හැබැයි ලොකු ගැටලුවක් ආවා. ඒ පාරේ ජීවත්වුණු ඒ අම්මව නවතන්නේ කොහෙද කියලා. පස්සේ මං ළඟම තියෙන කොරස මාතෘ නිවාසයේ නැවැත්තුවා.”

එවැනි දුෂ්කරතා, අභියෝග මධ්‍යයේ දරු ප්‍රසූතින් දහස් ගණනකට වින්නඹු සේවය සලසා දුන් පියසිලී අම්මාට දැන් වයස අවුරුදු 82කි. දරු තිදෙනෙකුගේ ආදරණීය මවක් වන ඇය කැලණි රජමහා විහාරය පේනමානයේ ඇති කැලණිය, පොල්හේන ප්‍රදේශයේ තම දරුවකුගේ නිවෙසක ජීවත් වේ.

“මට ඉන්නේ පුතයි දුවලා දෙන්නයි. පුතා දැන් ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරයෙක්. ලොකු දුවත් ඉන්නේ කැනඩාවේ. පොඩි දුව රජයේ රැකියාවක් කරනවා. මහත්තයා 2020 අවුරුද්දේ නැතිවුණා.”

 

*එතකොට ඔබේ සහෝදර සහෝදරියෝ එහෙම?

“මට අයියයි මල්ලියි නංගිලා තුන්දෙනයි තමයි හිටියේ. ඔක්කොම සහෝදර සහෝදරියෝ පහයි එතකොට. ඒ අයගෙන් මේ වෙද්දි ජීවතුන් අතර ඉන්නේ අයියයි මමයි විතරයි. මටත් දැන් ටිකක් අසනීපයි. ඒත් ඉතින් අතීතේ දේවල් මතක් කර කර පත්තරයක් අරෙහෙ මෙහෙ බලාගෙන මම සතුටින් ජීවත්වෙනවා.”

පියසීලි වින්නඹු සේවයෙන් විශ්‍රාම ගිය පසු වගා කටයුතුවලට නැඹුරු වී තිබේ. නිවසේ පරිභෝජනයට අවශ්‍ය කරන සෑමදේම එමඟින් ලැබුණු බවයි ඇය පැවසුවේ. ඒ අතරවාරයේ ඇය තවත් අපූරුම කටයුත්තකටද අතගසා තිබුණේ ඇගේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරළමිනි.

“මං පොඩි කාලේ ඉඳන් ලියන්න දක්ෂයි. ඉතින් මට නිකමට ඉන්න ගමන් හිතුණා මගේ ජීවිත කතාව පොතකට ගේන්න ඕන කියලා. දෙයක් හිතට ආවම කල්මරන සිරිතක් මට නෑ. සමහර විට ඒක මගේ රස්සාවේ ස්වභාවයත් එක්ක ආපු පුරුද්දක් වෙන්න ඇති. ඉතින් කොහොමින් හරි ඊටපස්සේ ‘නොමැකෙන මතක’ නමින් පොතක් ලිව්වා. වෘත්තීය දිවියේ අත්දැකීම් තමයි වැඩිපුර ලිව්වේ.”

එදා වින්නඹු සේවයේ යෙදුනු කාන්තාවන් වින්නඹු සේවිකාවන් ලෙස හැඳින්වුවද අද වෙද්දී එහෙව් වෘත්තියක් මෙරටේ නැත. අද ඒ වෙනුවට තිබෙන්නේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී නම් තනතුරකි. එහෙත් පියසීලිලා එදා විඳි අභියෝග, දුෂ්කරතා ඔවුන් හට නොමැති බවයි පියසීලිගේ විශ්වාසය.

“ඒ කාලේ පැය විසිහතරම වැඩ. යන්න එන්න තිබුණේ පයින්. ඒ යන්නත් පාරවල් නෑ. කුඹුරු උඩින්, කැලෑ මැදින්, කඳුහෙල් ගංගා මැද්දෙන් තමයි යන්නේ. අව්ව වැස්ස කියන එකක් අපිට ගාණක්වත් නෑ. මොකද මගේ තත්පරේ ප්‍රමාදය ඇති අම්මෙක්ට දරුවෙක්ට ජීවිතේට හානියක් වෙන්න. ඒ අස්සේ 88/89 භීෂණ, කොටි කලබල වගේ දේවල්. අනෙක අඩුපහසුකම්වලින් අපි හැමදේම ක‍ළේ. ඔය වගේ නොයෙකුත් අභියෝග දුෂ්කරතා අපේ කාලේ තිබුණා. ඒ කාලේ ඉතින් දරුවෝ ලැබෙන්න ඉන්න අම්මලාගේ දුක්ගන්නාරාළ වුණේ මං. දැන් නම් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සෑහෙන්නම දියුණු නිසා එහෙව් වාතාවරණයක් නෑ. ඒක ලොකු දෙයක්.”

 

*පියසීලි අම්මට ඒ කාලේ මතක් වෙනකොට අද මොකද හිතෙන්නේ?

“මේ අත් දෙකෙන් අම්මලා දහස් ගණනකගේ දරු ප්‍රසූතීන් කළා. ඒ දරු පැටව් අද රටේ හොඳ තැන්වල ඇති. ඒ දේවල් මතක් වෙනකොට මට පුදුමාකාර සතුටක් දැනෙනවා. ඒත් එක්ක මම ලොකු පුණ්‍යකර්මයක් කරගත්තා කියලයි මට හිතෙන්නේ.”

පියසීලි අම්මා සතුටු කඳුළක් හෙළමින් එසේ පවසන අතරවාරයේ මම නිකමට මෙන් ඇය ලියූ ‘නොමැකෙන මතක’ පොතේ අවසන් පිටුව පෙරළුවෙමි.

‘ගෙවුණු අතීතය දෙස නැවත හැරී බැලීමේදී මට ඇතිවන්නේ මහත් නිරාමිස ප්‍රීතියකි. වෘත්තීය ජීවිතය තුළ මා හෙලූ හැම දහඩිය බිඳුවකින්ම මගේ විශ්‍රාම දිවියට මහත් අස්වැසිල්ලක් ළඟා කර දී ඇති බව මට හැඟෙයි. මට දැනෙයි.’

ඇය නොමැකෙන මතකයන් අවසන් කර තිබුණේ එලෙසිනි.

රුවන් එස්.සෙනවිරත්න