ඔබෙන් යමක් ඉල්ලගෙන එන කෙනෙක්ව ඔබට යමක් දීලා යන්න ආපු කෙනෙක් විදියට දකින්න
මිනිස්සුන්ට මෙත් සිත පැතිරවීමත්, අනිත් පැත්තට ඒ මිනිස්සුම සිද්ධ කරන අප්‍රිය අමනාප ක්‍රියා ඉදිරියේ නොගැටී සිටීමත් එකවර කරන්නෙ කොහොමද කියන එක ලොකු ගැටලුවක් වෙච්ච කාලයක් මට තිබුණා. හැබැයි දැන් එහෙම නෑ. නොගැළපෙන නොපෑහෙන මිනිස්සුන්ව නොගැටී අතහරින ක්‍රමය දැන් මම සෑහෙන දුරට ප්‍රගුණ කරලා තියෙනවා. ඒ දැනීම මට ලැබුණෙ වෙන දෙයක් නිසා නෙවෙයි, මේ අසිරිමත් ශ්‍රී සද්ධර්මයත්, කල්‍යාණ මිත්‍ර සම්පත්තියත් නිසාමයි.
පහුගිය මාසයක විතර කාලයක පටන් මම උදේ ඔෆිස් එකට යද්දි මාත් එක්ක මම යන වාහනේම ගිහින් කාසල් රෝහල ගාවින් බැහැලා වැඩට යන්න පුරුදු වෙච්ච අසල්වැසි හිතවතියක් හිටියා. මම තනියම යන නිසාත්, තවත් කෙනෙකුට උදව්වක් කරන්න ලැබෙන අවස්ථාවක් නිසාත් මම බොහොම කැමැත්තෙන් තමයි ඇයව එක්කරගෙන ගියේ. ඒත් පහුගිය දින කිහිපයේ එහෙම නොකර, හිතාමතාම ඇයව මඟහරින්න මට සිද්ධ වුණා. උදේට බස් එකේ යන වෙහෙසකර ගමනට තිත තියලා, සුවපහසුව ඔෆිස් එකට යන්න ඇයට උදාවුණු ඒ අවස්ථාව අහිමි කරන්න සිද්ධ වෙච්ච එක ගැන මගේ හිතේ පුංචි අකමැත්තක් නොතිබුණාම නෙවෙයි. හැබැයි නිවැරදි තීරණ ගන්න බැරිව හිත බර වෙන එහෙම වෙලාවල්වලදී මගේ එකම සහ අවසන් නවාතැන්පල වෙන්නෙ කොහෙද කියලා මේ වෙනකොට සංසාර ආරණ්‍යයට ගොඩවෙන ඔබ හොඳාකාරවම දන්නවා. ඒ තමයි මගේ කල්‍යාණ මිතුරිය, සාමා මෑණියෝ වැඩඉන්න ධම්මදින්නා ආරාමය.
මෛත්‍රී සිතින්, ස්වෙච්ඡාවෙන් අනුන්ට උදව්වක් උපකාරයක් කරන්න ඉදිරිපත් වෙන වෙලාවක, ඒ හේතුවෙන් තමන්ගෙ ගුණධර්ම, හිතේ සාමය වගේ දේවල් අභියෝගයට ලක්වෙනවනම් තවදුරටත් එවැනි උදව් කරන්න අවශ්‍ය නැති බව මට මතක් කරලා දුන්නෙ සාමා මෑණියො. ඒ වගේම මේ කාරණාව ගැන කිව්වම, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු වනපත්ථ සූත්‍රය සිහි කරමින් එතුමිය මීට පෙරත් මට අනුශාසනා කරපු කාරණාවක් නැවත මතක් කළා.
“මතකද සකී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කියනවා, යම්කිසි කෙනෙක් ආශ්‍රය කරද්දි මෙතෙක් ඔබ තුළ නොවැඩුණු සිහිය වැඩෙන්නෙ නැත්නම්, මෙතෙක් ඔබ තුළ නොවැඩුණු ගුණධර්ම වැඩෙන්නෙ නැතිනම්, මෙතෙක් සාක්ෂාත් නොකළ අරහත්වය සාක්ෂාත් කරන්න කිසිම අනුබලයක් උපකාරයක් ලැබෙන්නෙත් නැතිනම්, ඒ විතරක් නෙවෙයි ඔබට ඒ අයගෙන් ගිලාන පිණ්ඩපාත ආරණ්‍ය සේනාසන ආදී වූ ප්‍රත්‍ය ලාභය ලැබෙන්නෙත් නැතිනම් රැයක වේවා, දවාලක වේවා ඒ අයට කිය කියා ඉන්න දෙයක් නෑ ඒ අයව අතහැරලා දාන්න කියලා…”
මෑණියෝ ඒ කාරණාව ඒ විදියට මතක් කරද්දී, මීට කලින් එක අවස්ථාවක එතුමිය මට විස්තර සහිතව මේ ගැන කියපු බව ඔන්න මට මතක් වුණා. එහෙම මතක් වෙද්දී මට අර කලින් දැනුණා කියපු හිතේ බර තවදුරටත් දැනුනෙ නෑ. ඇත්තටම සිද්ධ වුණේ මේකයි.
උදේට මගේ ගමනාන්තය වෙන්නෙ කොළඹ හත විජේරාම මාවත වුණාට මගේ ගමන පටන්ගන්නෙ බත්තරමුල්ලෙන්. ගෙදර ඉඳලා ඇවිල්ලා දියත උයන ගාවින් පොල්දූව මංසන්ධියට වාහනේ හරවද්දි, එතැන තියන කලර් ලයිට් එක ගාව තත්පර කිහිපයකට වාහනේ නතර වෙන එක හරියට නැගෙනහිරින් ඉර පායනවා වගේ හැමදාම උදේට සිද්ධ වෙන දෙයක්. ඒ වගේම ඒ විදියට වාහනේ නතර වෙන සැනින් උපකාරයක් බලාපොරොත්තුවෙන් වාහන ළඟට දුවගෙන එන යාචක පිරිසගේ දර්ශනයත් පොල්දූව මංසන්ධිය පහුකරන කෙනෙකුට නැවුම් දර්ශනයක් නෙවෙයි. ගොඩක් වෙලාවට මම මාරු කරපු මුදල් නෝට්ටු කිහිපයක් ළඟ තියාගෙන ඉන්නෙ එහෙම වෙලාවට ඒ විදියට දුවගෙන එන අයට දෙන්න හිතාගෙනම තමයි.
හැබැයි කොළඹ නගරයේ තැනින් තැන ඔය විදියට ජීවත්වෙන යාචකයන් ගැන විවිධ විවේචන තියෙන බව මම දන්නවා. මේ යාචක රස්සාව ව්‍යාපාරයක් කියලා ඇතැම් අය ගතු කියනවා. ඒ අය අපි දෙන මුදල් අරගෙන ගිහින් මත්ද්‍රව්‍ය මිලදී ගන්න බව තවත් සමහරු කියනවා. ඒක එහෙම වෙන්නත් පුළුවන්. ඒ වගේම එහෙම නොවෙන්නත් පුළුවන්. ඒත් මම යාචකයෙක්ව දකින්නෙ, සමාජයේ බහුතරයක් දෙනා දකින විදියේ අපරාධකාරයෙක් හෝ ප්‍රෝඩාකාරයෙක් විදියට නෙවෙයි. අතහැරීම කියන සුන්දර ගුණය පුරුදු පුහුණු කරන්න මගේ ඉස්සරහට ආපු දේව දූතයෙක් විදියටයි මට ඒ අයව පේන්නේ.
හැබැයි අවාසනාව කියන්නෙ සති කිහිපයක් මා එක්ක මගේ වාහනේ ගියපු අර හිතවතියට ඒක ඒ අර්ථයෙන් දකින්න බැරි වුණා.
“ඔය මිනිස්සු හරි කපටියි. පේනවා නේද බොරුවට අහිංසක පාටට හිනා වෙන හැටි. කවුරුවත් ළඟ පාතක නැති වෙලාවක ගිහින් බලන්න එපැයි කටවල්වල සද්දෙ. එතකොට ඔය අහිංසකකම් නෑ. අනිත් එක, අත පය නැතුව නෙවෙයිනේ හම්බ කරගෙන කන්න. මිනිස්සු දෙන නිසා තමයි හම්බ කරගෙන කාලා ජීවත් වෙන්න ඒ මිනිස්සුන්ට ඕනකමක් නැත්තෙ. ඔය මිනිස්සුන්ට දෙන්න එපා. අනික ඔහොම හැමදාම දෙනකොට ඒකත් පුරුද්දට යනවා. ඇත්තටම ඊට හොඳයි පාරෙ ඉන්න බල්ලන්ට ආප්ප අරගෙන දෙන එක. මට තිබ්බනම් මම එහෙමයි කරන්නෙ…”
හැබැයි ඒ කියපු විදියට ඇය සතෙකුට හෝ කෑමක් බීමක් අරගෙන දෙනවා මම මෙතුවක් කාලෙකට දැකලා නෑ.
කොහොම නමුත් මම ඇගේ මේ කතාවල් ඒ හැටි කනකට නොගෙන ඉන්නත්, ඒවාට ප්‍රතිචාර නොදක්වා ඉන්නත් මුලදි මුලදි පරිස්සම් වුණා. දානයට හිත නොනැමෙන මිනිස්සු දන් දෙන අයට ගරහන බව මම අත්දැකීමෙන් දන්නවා. අනිත් එක කොළඹ නගරයේ ඉන්න මේ යාචකයන් ගැන බහුතරයකට ඔය චෝදනාව තියෙන බවත් මම දන්නවා. හැබැයි මම හොඳ හිතින් දෙන දේට ඇය දිගින් දිගටම අකුල් හෙලද්දී මට බොහොම කරුණාවෙන් ඇයට ඒ ගැන පැහැදිලි කරලා දෙන්න සිද්ධ වුණා.
“ඒ අය ඒ සල්ලිවලින් මොකක්ද කරන්නෙ කියන එක මට අදාළ දෙයක් නෙවෙයි. දුන්නට පස්සෙ කරන දේ මගේ පාලනයේ තියෙන දෙයකුත් නෙවෙයිනේ. මම කරන්නෙ මගෙන් ඉල්ලගෙන එන කෙනෙකුට මට හැකි පමණින් දෙයක් දීලා සතුටු වෙන එක විතරයි. මම එහෙම දෙන්නෙ අපහසුවෙන්, කවුරුවත් එහෙම කරන්න කියලා මට පනවපු නිසා නෙවෙයි. දෙන්නෙ මට මේ වෙලාවේ එහෙම කරන්න පුළුවන්කමක් තියෙන නිසා. හැබැයි ඔයාට එහෙම දෙන්න හිතෙන්නේ නැත්නම් මම දෙන දේ දැකලා සතුටින් අනුමෝදන් වෙන්න පුරුදු වෙන්න. කාලයක් යද්දී ඔයාට ඒකෙ තියෙන සැනසීම දැනෙන්න ගනීවි…”
හැබැයි බොහොම කාරුණිකව මේ ටික මෙහෙම කිව්වට පස්සෙත්, බොහොමයක් උදෑසනවල සිද්ධ වෙන මේ සුපුරුදු සිදුවීම නිසා රාජගිරිය ගුවන් පාලමත් පහුවෙනතෙක්ම ඇය පාරේ ඉන්න යාචකයන්ට විතරක් නෙවෙයි මේ රටට, රටේ පාලනයට, සිස්ටම් එකට සහ තවත් බොහෝ දේවල්වලට දෙස් දෙවොල් තියන එක පුරුද්දක් බවට පත්කරගත්තා.
කොහොමටත් උපන් බිමට, අදහන ආගමට ගරහන, හැම දේකම දොස් දකින මිනිස්සු මට ඒ හැටි ප්‍රිය නෑ. ඒ වගේම දානයක් දැකලා ඒක සතුටු සිතින් අනුමෝදන් වෙන්න බැරි මිනිස්සු මට කොහෙත්ම ප්‍රිය නෑ. මට ඒ අය එක්ක තියෙන්නෙ ගැටීමක් නෙවෙයි. ඒත් දානයට ගරහන කෙනෙක් මට දැනෙන්නේ බුද්ධ වචනයට ගරහන කෙනෙක් විදියටයි. බුද්ධ වචනයට ගරහන කෙනෙක්, ශාස්තෘෘන්වහන්සේගේ අවවාදය නොපිළිගන්නා කෙනෙක් ශරීරයෙන් ගෑවි ගෑවි ළඟ හිටියත්, හිතින් මට එවැනි අය බොහොම දුරයි. ඒ නිසා ඇය එක්ක හිතින් හෝ වචනවලින් නොගැටී ඇයව මඟහැර යන්න මම තීරණය කළා.
මම ‘දානය’ තුළින් සෞභාග්‍ය හෝ ධන ධාන්‍ය ප්‍රර්ථනා කරන කෙනෙක් නෙවෙයි. දෙන දානය මොකක් වුණත් මම ඒ තුළින් ‘අතහැරීම’ ප්‍රගුණ කරන්න උත්සාහ කරන කෙනෙක්. ඒ අතහැරීම තුළින් ‘තණ්හාව’ දුරු කරන්න උත්සාහ කරන කෙනෙක්. මේ ‘තණ්හාව’ ඉතිරි නැතිව නිරුද්ධ කළොත් විතරයි ‘භවය’ නිරුද්ධ වෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ නිසා, අතහරින ඕනම දෙයක් ඒ ලෝකෝත්තර අරමුණ වෙනුවෙන් උපකාර කරගන්න උත්සාහ කරන කෙනෙක්. මේ විදියට ලෝකෝත්තර අරමුණක් පෙරදැරිව නොවුණත් විවිධ අරමුණුවලින් දන් දෙන අය මේ සමාජයේ ඉන්නවා. මගේ ඇදහීම නම් ඒ අරමුණ මොකක් වුණත්, දානය කියන්නේ ප්‍රශංසා කළ යුතු දෙයක් මිසක ගැරහිය යුතු දෙයක් නෙවෙයි. ඒ වගේම දානය දෙන කෙනෙක් ප්‍රශංසාව අපේක්ෂාවෙන් දන් දිය යුතුයි කියලා මම හිතන්නේ නෑ. දානය නිසා ලැබෙන කිත් යසස ඇතුළු වෙනයම් ආනිසංසයක් වේ නම් එය ලැබීමට ඒ අය සුදුසුයි කියන එකයි එයින් අදහස් කළේ.
ඒ නිසා ඔබෙන් යමක් ඉල්ලගෙන එන කෙනෙක්ව කරදරකාරයෙක්, වංචාකාරයෙක් විදියට දකින්නෙ නැතුව, ඔබට යමක් දීලා යන්න ආපු කෙනෙක් විදියට දකින්න පුරුදු වෙන්න. ඒ අය ඔබේ ඉදිරියට එන්නේ, ‘අතහැරීම’ කියන සුන්දර ගුණය ඔබ තුළ ඇති කරවන්නයි කියලා දකින්න පුරුදු වෙන්න. හැබෑ බෞද්ධ ශ්‍රාවකයෙකු වශයෙන් ඔබේ ධර්ම මාර්ගයට ඒක විශාල ආශිර්වාදයක් වේවි.
එක අවස්ථාවක තථාගත බුදුරජාණන්වහන්සේ දානයට ගරහපු එක්තරා බ්රාහ්මණයෙකුට දේශනා කරලා තියනවා, ‘කල්ප සියයක් ආපස්සට මේ ලෝක සත්වයා මේ සංසාරෙ ගෙවාගෙන ආපු ගමන දිහා හැරිලා බලද්දී, ‘දීම’ නිසා දුප්පත් වුණු කෙනෙක්, දීමේ ආනිසංස නොලබපු කෙනෙක් මම දකින්නේ නෑ’ කියලා. මේ ජීවිතයේ ඔබට සැපවත් ජීවිතයක් ලැබිලා තියෙනවා නම්, ඒ මේ සසරේ ඔබ දුන්නු දේවල් නිසාමයි. ඔබට අගහිඟකම් වැඩිනම්, නිතර නෑ බෑ කියන්න වෙන ජීවිතයක් නම් ඔබට ලැබිලා තියෙන්නේ, ඒ සසරේ දානයට ඔබේ හිත නොනැමුණු නිසාමයි. ඒ නිසා ගරහන අයට ගරහන්න ඉඩ දීලා ඔබ අතහරිමින් දන් දෙන්න. මේ අනන්ත වූ සසරේ ඉපදෙමින් මැරෙමින් යන ගමනට තිත තැබීමේ ලෝකෝත්තර අරමුණින් දන් දෙන සොඳුරු ශ්‍රාවකයෙක් බවට පත්වෙන්න. සියලු ලෞකික අරමුණු අතහැර, ලෝකෝත්තර අරමුණින් දන් දෙන විට, උතුම් නිවනට මෙහා ඔබට ලැබිය යුතු යම් දෙයක් වේනම්, ඒ සියල්ල නිරායාසයෙන්ම ඔබට ලැබේවි.
අතහරිමින් දන් දීමට හිත නැවෙන සොඳුරු ශ්‍රාවකයෙක් බවට පත්වෙන්නට ඔබට මේ ධර්ම දානය උපකාරයක්ම වේවා…
තෙරුවන් සරණයි.
මම,
ඔබේ කල්‍යාණ මිතුරිය,
ශාක්‍යා ඉද්දමල්ගොඩ (සකී)
සංසාර ආරණ්‍යය පොත පිළිබඳව විමසීම සඳහා වට්සැප් පණිවිඩයක් යොමු කරන්න
077 23 33 263
