‘ඔයාගෙ ප්‍රශ්නෙ විසඳුනා නේද?’ කියලා අපේ නායක ප්‍රභාකරන් එදා මගෙන් ඇහුවා
මුලතිව් උපන් ශකිලා කුඩා කාලයේ සිට අධ්‍යාපනයට, ක්‍රීඩාවට හා කලාවට දක්ෂතා දක්වන්නීය. ආර්ථික දුෂ්කරතා හේතුවන් උසස් අධ්‍යාපනය අත්හැර දමන ඇය මුලින්ම මුද්‍රණාලයක ද පසුව ඊළාම් අධිකරණයේ ද රැකියාවට යන්නීය. අනතුරුව හෙද පුහුණුව සඳහා යාපනය, රජයේ හෙද විදුහලට ඇතුළත් වන්නීය. යුද හමුදා රිවිරැස මෙහෙයුම සමයේදී හෙද පුහුණුව අතරමග නවතා නැවත මුලතිව් පදිංචියට ආ ඇය අනතුරුව ඊළාම් රජයේ මාධ්‍ය ඒකකය රැකියාව ලෙස තෝරාගන්නීය. එහිදී ඊළාම් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනයන්හි වාර්තාකාරිනියක ලෙස රාජකාරි කරයි. එහිදී බොහෝ අත්දැකීම් ලබන ඇය එල්.ටී.ටී.ඊ. නායකත්වයේ මාධ්‍ය ආවරණය සඳහා ද සහභාගී වන්නීය. අද එතැන් සිට…
“සාමාන්‍යයෙන් දකුණෙ මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආවරණ කටයුතු කරද්දී පුද්ගල තරාතිරමක් නැහැ. ජනාධිපතිගේ, අගමැතිගේ, ඇමතිවරුන්ගේ, දේශපාලකයන්ගේ වගේම හමුදාවේ, පොලිසියේ මාධ්‍ය ආවරණ කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපිට උතුරෙදිත් තරාතිරමක් නැතිව මාධ්‍ය ආවරණ කටයුතු කරන්න සිද්ධ වුණා. හැබැයි වන්නියේ දේශපාලනඥයෝ හිටියෙ නැහැනෙ. ඒ නිසා ඒ කරදරය තිබුණෙ නැහැ. ඒ වුණාට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඊළාම් රජය කියන්නෙත් නිල නොවන රජයක්නේ. එයාලට යුද හමුදාවක්, නාවික හමුදාවක්, ගුවන් හමුදාවක් වගේම පොලිසියකුත් තිබුණා. අපට ඒ අයගේ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා ආරාධනා ලැබෙනවා. එතකොට යනවා.”
*මොන වගේ අවස්ථාවලටද ආරාධනා ලැබෙන්නේ?
“වෙනත් හමුදා වගේම එයාලගෙත් බඳවාගැනීම් තිබෙනවා. පුහුණුවෙන් පස්සේ විසිරයාමේ පෙලපාලි තියෙනවා. ඒ විදියට ඊළාම් ත්‍රිවිධ හමුදාවෙම උත්සවවලට ගිහින් තියෙනවා. ඒ වගේම දක්ෂකම් පෙන්නපු සාමාජිකයන්ට රණවිරු උපහාර තියෙනවා. පොලිසියෙන් එක එක උත්සව තියෙද්දි යනවා. ඒ වගේම පොලිසියේ විවිධ අපරාධ සිදුවීම්, නඩු, රිය අනතුරු වගේ දේවල් වාර්තා වුණාම ඒ තොරතුරු ගන්න මම යනවා.”
*එතකොට මොන මොන නායකයොද හමුවෙලා තියෙන්නේ? මා විමසීමි.
“එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හමුදා නායකයන් විදියට හිටියේ තීපන්, සවර්ගම්, බානු, විදූෂා (කාන්තා), ජෙයම්, බාල්රාජ් වගේ අය. ඒ අය විවිධ අවස්ථාවල දැකලා හමුවෙලා තියෙනවා. හැබැයි ඒ සිදුවීම් එතැනින් ඉවරයි. එතැනින් පස්සේ ගනුදෙනුවක් නැහැ. මුහුදු කොටි අංශයේ ඉහළම නායකයා තමයි සුසෙයි. මුලතිව් ප්‍රදේශයේ වැඩි ප්‍රමාණයක් මුහුදු ප්‍රදේශයන් නිසා මුහුදු කොටි අංශයේ කඳවුරු ගොඩක් තිබුණා. මුරපෙළවලුත් තිබුණා. ඒ නිසා මුහුදු කොටි අංශයේ අයත් හමුවුණා. සුසෙයිවත් සාමාන්‍ය විදියට දන්නවා. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ගුවන් හමුදාව ගොඩක් පහුවෙලා පටන්ගත්ත නිසාත් පිරිස ටිකක් නිසාත් එයාලව හමුවුණේම නැති තරම්.”
කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රසිද්ධියේ ජනමාධ්‍යවේදීන් හමුවූයේ එකම අවස්ථාවකදී පමණි. ඒ 2002 අප්‍රේල් 10 දිනයි. එම අවස්ථාවට ලියුම්කරු ද සහභාගී විය. එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයක් වූයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හා අගමැතිවරයා, ජනාධිපති හා අගමැති ලෙස ප්‍රභාකරන් පිළිගන්නවාද යන්නයි. එම අවස්ථාවේදී පිළිතුරු දීමට ඉදිරිපත් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ න්‍යාචාර්ය ඇන්ටන් බාලසිංහම් ප්‍රකාශ කළේ ඊළාම් රාජ්‍යයේ ජනාධිපති හා අගමැති ප්‍රභාකරන් බවයි. එහිදී සිදුවූ හාස්‍යජනක සිදුවීම නම් තමන් මාධ්‍ය ආවරණ කටයුත්තක් සඳහා පැමිණි බව අමතක වූ දෙමළ මාධ්‍යවේදීන් පිරිසක් බාලසිංහම්ගේ පිළිතුරෙන් සතුටට පත්වී අත්පොලොසන් දී එම පිළිතුරට ප්‍රතිචාර දැක්වීමයි. එම නිසා ඒ පිළිබඳව ශකිලාගෙන් විමසීමි.
“මම මුලින්ම කිව්වනේ වන්නියේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළෙ දේශපාලනඥයෝ හිටියේ නැහැනේ. ඒ නිසා ඊලාම් රජයේ ජනාධිපති, අගමැති නායක ප්‍රභාකරන් කියලා කිව්වට වරදක් නැහැ.”
*එතකොට ඊළාම් රාජ්‍යයේ නායකතුමා ප්‍රභාකරන්ව ඔබට හමුවෙලා තියෙනවද?
“ඒ කාලයේ වන්නියේ ජීවත්වුණ අය තුළ තිබුණ අදහස තමයි නායකතුමා හමුවෙන්න වාසනාව තියෙන්න ඕන කියලා. නායකතුමාට ඒ කාලයේ බොහොම ඉහළම ආරක්ෂාවක් තිබුණා. එතුමාගේ ආරක්ෂාව සඳහා වේලාසනින් කියලා ජනතාව අතරට එන්නෙ නැහැ. නොහිතන අවස්ථාවල ජනතාව අතරට එනවා. මට ඒ වගේ අවස්ථා තුනකදී නායකතුමා හමුවෙලා තියෙනවා.”
*කතාබහ කරලා තියෙනවද?
“එක සැරයක් කතාබහ කරලා තියෙනවා. ඒ කාලයේ දවසක මම ප්‍රවෘත්ති හොයාගෙන යද්දි පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ දුෂ්කර ගමක පදිංචි ගම්වාසීන් පිරිසක් ඇවිත් එයාලගේ ගමට එන්න තියෙන පාර බොහොම අබලන් කියලා කිව්වා. පස්සේ හොයලා බලද්දි මට තේරුණා ගම්වාසීන් ඇත්ත කිව්වේ කියලා. ඒ සිද්ධිය මම ‘ඊළනාදන්’ පත්තරේට ලිව්වා. සාමාන්‍යයෙන් අපි පත්තරේට නම දාන්නෙ නැහැ. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට අංකයක් දීලා තිබුණා. ඒ අංකය තමයි දාන්නේ. අදටත් සමහර දෙමළ පුවත්පත් මාධ්‍යවේදියාගේ නම වෙනුවට අංකයක් තමයි දාන්නෙ. මම ප්‍රවෘත්ති දැම්මේ අංක 20 වාර්තාකරු කියලා. ඔය කාලයේදී අපට සංවිධානයෙන් දැනුම්දීමක් කළා විශේෂ මාධ්‍ය හමුවක් තියෙනවා සහභාගී වෙන්න කියලා. දැනුවත් කරපු මාධ්‍යවේදීන් දැනුම්දීපු ස්ථානයට ගියා. එදා අපට වෙනසක් තේරුණා වෙනදාට වඩා ආරක්ෂාව තර කරලා කියලා. අපිවත් පරීක්ෂා කරලා තමයි ඇතුළට ගත්තේ. 20-30ක විතර මාධ්‍යවේදීන් පිරිසක් හිටියා. මාධ්‍ය හමුව පටන්ගද්දි තමයි දැනගත්තෙ නායකතුමාගෙ (ප්‍රභාකරන්ගේ) මාධ්‍ය හමුවක් කියලා. එයා බොහොම සුහදශීලීව කතා කරලා අපේ ගැටලු ඇහුවා. ප්‍රශ්න තිබුණත් හැම ප්‍රශ්නයක්ම කිව්වෙ නැහැ. අවසානයේදී අපි කරන රාජකාරිය ගැන අපට ස්තූති කළා. මාධ්‍ය හමුව ඉවර වෙලා යන්න හදද්දි නායකතුමා මගෙන් ඇහුවා ‘ඔයාගෙ පාරේ ප්‍රශ්නය විසඳුනා නේද?’ කියලා. මටත් මොකක්ද අහන්නෙ කියලා හිතාගන්න බැරි වුණා. මම හිතුවේ වැරදීමකින් වෙන කෙනෙක්ගෙන් අහන්න තියෙන දෙයක් අහනවා කියලා. ඊටපස්සෙ එතුමා අංක 20 කියලා මට කතා කළා. එතකොට මම දැනගත්තා මටම තමයි කතා කරන්නෙ කියලා. ඊටපස්සේ එතුමා කිව්වා ‘පුදුකුඩිරිප්පුවල අබලන් පාරක් ගැන ලියලා තිබුණ ප්‍රවෘත්තිය මමත් බැලුවා, එහෙම දේවල් ලියපු එක හොඳයි. ඒ ගැන හොයලා බලලා විසඳුමක් දෙන්න කියලා සුසෙයිට (මුහුදු කොටි නායක) මම කිව්වා’ කියලා. මම ඒ වෙලාවෙදි නායකතුමාට ස්තූති කළා. එතැනින් පස්සේ හොයලා බලද්දි මම දැනගත්තා එල්.ටී.ටී.ඊ. මුහුදු කොටි බලකායේ සාමාජිකයෝ ඒ මාර්ගය ප්‍රතිසංස්කරණය කරනවා කියලා. නායකතුමා කිව්ව නිසා මුහුදු කොටි බලකායේ සාමාජිකයෝ විශාල පිරිසක් එකතු වෙලා පාර ප්‍රතිසංස්කරණය කරලා තිබුණෙ රටේ ජනාධිපතිතුමා හමුදාවට වැඩක් කිව්වම කරල දෙනවා වගේ.” ශකිලා කීවාය.
රජය හා එල්.ටී.ටී.ඊ. අතර සටන් විරාමය අවසන් වේ. ලබන සතියට….
සනත් ප්‍රියන්ත