News

ඕළු මරා ඇතුළු 12ක් වෙන්නප්පුවේදී අත්අඩංගුවට

හෙරොයින් අලවි කිරීමේ ජාවාරමේ නිරත සැකකරුවෙකු සහ හෙරොයින් මත් කුඩු මිළදී ගෙන පානය කිරීමට සුදානම් වෙමින් සිටි සැකකරුවන් 11 දෙනෙකුව වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (09) වෙන්නප්පුව-සිරිගම්පල ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කළ බවයි.

අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු “ඕළු මරා” යන අන්වර්ථ නාමයෙන් හදුන්වන ජාවාරම්කරුවෙකු බවට හදුනා ගෙන තිබෙනවා.

එම සැකකරු සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 02 යි මිලි ග්‍රෑම් 300 ක් වැටලීම කළ නිලධාරීන් විසින් තම බාරයට ගෙන තිබෙනවා.

මෙම සැකකරු පිටස්තර ප්‍රදේශ වලින් හෙරෝයින් මත් කුඩු ගෙනවිත් වෙන්නප්පුව – සිරිගම්පල කොළණිය තුළ මෙන්ම ඒ අවට ප්‍රදේශවල අලවි කරන ප්‍රධාන ජාවාරම්කරුවෙකු බව පොලීසිය පවසනවා.

එම සැකකරුව මීට පෙර අවස්ථා කීපයකදීම හෙරෝයින් මත් කුඩු ජාවාරම සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අයෙක් ද වනවා.

සෙසු සැකකරුවන් 11 දෙනා ප්‍රධාන ජාවාරම්කරුවාගෙන් හෙරෝයින් මත් කුඩු මිළදී ගැනීමට පැමිණ සිටි පුද්ගලයින් බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් සතුවද හෙරෝයින් මත් කුඩු තිබී වැටලීම කළ නිලධාරීන් විසින් සොයා ගෙන තම බාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.