කටුනායකින් පිට රටට කුඩු යවන බංග්ලාදේශ කාන්තා කල්ලියක්
කටුනායක ගුවන් තොටුපොළ හරහා විදෙස් රටවල් හතකට මත්කුඩු බෙදාහරින බංග්ලාදේශ කාන්තාවන්ගෙන් සමන්විත ජාත්‍යන්තර කල්ලියක තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය හා බංග්ලාදේශ රජය එක්ව කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත.
මේ තත්ත්වය මත වහාම කටුනායක ගුවන්තොටුපොළින් විදෙස් රටවල් බලා පිටව යන පර්යන්තයට (Depature) පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණය වී ඇත.
මෙම ජාත්‍යන්තර කුඩු කල්ලිය බංග්ලාදේශයේ සිටින අරීස් නමැති ආසියාවේ කුඩු බෙදා හරින නායකයා විසින් මෙහෙයවා ඇති අතර මොවුන් පාකිස්තානුවන් මෙන් රැඳී සිටිමින් ලාඕසය, චීනය ඔස්සේ නැගෙනහිර පළාතට මත්කුඩු රැගෙන නව මුහුදු මාර්ගයක් උපයෝගී කරගෙන ලංකාවට රහසේ ගෙනැවිත් බංගලි කාන්තාවන් යොදා කටුනායකින් විවිධ රටවලට රැගෙන ගොස් ඇත.
කටුනායක ගුවන් තොටුපොළේ දූෂිත නිලධාරීන්ගේ සහාය මැද 2017 වසරේ සිට චීනය, මැලේසියාව, බංග්ලාදේශය, ඉන්දියාව, තායිලන්තය ඇතුළු රටවලට බංගලි කාන්තාවන් විසින් මත්ද්‍රව්‍ය රැගෙන ගිය බවට අනාවරණය වී තිබේ.
මෙම කුඩු ජාලයට අයත් රොහාන් අක්තර් නමැති බංගලි කාන්තාවක් කුඩු කිලෝ දෙකහමාරක් සමග චීනයේ ඇංහයි ගුවන් තොටුපොළේදී පසුගියදා කොටු වී ඇත.
පසුගිය දෙසැම්බරයේ සංචාරක වීසාවලින් පැමිණි කුඩු ජාවාරමේ නිරත බංගලි කාන්තාවන් දෙදෙනකු කේක් පෙට්ටිවල ඇසුරු කුඩු කිලෝ 31ක් සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය අල්ලා ගන්නා ලදී. ඒ වන විට ලංකාවේ සැඟවී සිටින කාන්තා කල්ලිය මෙහෙයවූ නායිකාව බංග්ලාදේශයට පැන තිබිණි. එම විමර්ශනයට මෙරටට පැමිණි බංග්ලාදේශ ආරක්ෂක අංශ සමග බංග්ලාදේශයට ගිය මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් කළ දීර්ඝ විමර්ශනයකින් මෙම ජාවාරම හෙළි කරගෙන ඇත.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා