News

කන්කසන්තුරේ වරාය සහ පලාලි ගුවන්තොට සංවර්ධනය ඇරඹුම 15 වැනිදා

යාපනයේ කන්කසන්තුරේ වරාය හා පලාලි ගුවන්තොටුපොළ කඩිනමින් සංවර්ධනය කිරීමේ වැඩ පෙබරවාරි 15 දින ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව පෙබරවාරි 15 වැනි දින අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එහි වැඩ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

මේ සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් පසුගිය අමාත්‍ය මණ්ඩලයට අගමැතිවරයා ඉදිරිපත් කළ අතර ඒ සඳහා රුපියල් මිලියන 1950 ක්ද, වෙන්කර තිබේ.

මීට පෙර එම ගුවන්තොටුපොළ හා වරාය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ආධාර ලබාදීමට ඉන්දියාව ඉදිරිපත් වූ අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ඉන්දීය නියෝජිතයන් එහි නිරීක්ෂණ කටයුතුවලට අවස්ථා ගණනාවකදී පැමිණියේ ය.

කන්කසන්තරෛ් වරාය සංවර්ධනය කරන බව පවසා මීට පෙර එහි අවට මුහුදේ ගිලී තිබූ නැව් හතරක යකඩ ඉන්දියානු සමාගමක් කපාගෙන ගොස් ඇත.

වරායේ හා ගුවන්තොටුපොළේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට ඉන්දියානු නියෝජිතයන්ද බොහෝ දුරට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

මධුභාෂණ හේරත්