News

කරාපිටිය වකුගඩු ඒකකය සිව්වසරක් තිස්සේ ලෙඩ ඇඳේ

දකුණු පළාතේ වකුගඩු රෝගීන් වෙනුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහල් භූමියේ 2014 වර්ෂයේදී ඉදිකිරීම් ආරම්භ කරන ලද වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ වැඩ වසර හතරක් ගතව ඇතත් මේ වන තෙක් අවසන් නොමැති බව කරාපිටිය වකුගඩු ආරක්ෂක සංගමය පවසයි.

වසර දෙකකින් එහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට එවකට සෞඛ්‍ය ඇමැතිව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2014 අගෝස්තු 22 වැනි දින එම ඒකකයට මුල්ගල් තැබීය. රුපියල් මිලියන 885 ක් එම ඒකකය ඉදිකිරීමටත්, මිලියන 120 ක් ඊට අවශ්‍ය උපකරණ ලබා ගැනීමටත් වෙන්කර ඇත.

මේ සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්නගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ වන විට ගොඩනැගිල්ලේ වැඩ සියයට 85 කින් අවසන් ව ඇති බවයි. උපකරණ හා කාර්ය මණ්ඩලයද සියයට 85-90 ක් පමණ ලැබී ඇති අතර පසුගිය කාලයේ ඒ සඳහා ලැබුණු මූල්‍යමය ගැටලුවක් නිසා එහි ප්‍රමාදයක් සිදු වූ බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.