කිරි ප්‍රවාහනය කරමින් පිංකැට කැඩීමේ ජාවාරම
බව්සරයකින් දියර කිරි ප්‍රවාහනය කරන අතර තුර දේවාල වල ඇති පිංකැට කඩා මුදල් සොරකම් කිරීමේ ජාවාරමක නිරත වූ සැකකරුවෙක් ආණමඩුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවෙල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවය.
සැකකරු කිරි ප්‍රවාහනය කරන බව්සරයේ රියදුරු ලෙස කටයුතු කර ඇත.එම බව්සරය පුද්ගලික එකක් වන නමුත් එහි කිරි ප්‍රවාහනය කර ඇත්තේ රජයේ ආයතනයක් සදහා බව විමර්ශණ වලදී හෙලිවී ඇත.
පසුගිය 08 වැනිදා රාත්‍රීයේ ආණමඩුව – ගරායක්ගම ප්‍රදේශයේ පිහිටි අයියනායක දේවාලයේ පිං කැටය කැඩීමට උත්සාහ කර ඇත.බව්සරයේ රියදුරු දේවාලය අසල රථය නවතා එහි කාර්මික දෝෂයක් ඇති බව හගවමින් සිටින විට රිය සහායකවරයා දේවාලයේ පිං කැටය කැඩීමට උත්සාහ කර ඇත. වාහනයේ ශබ්දය ඇසී අවදිවී ඇති ගම්වාසීන් දැක පිං කැටය කඩමින් සිටි අය පලා ගොස් ඇත.නමුත් කිරි බව්සරයේ රියදුරාව ගම්වාසීන් විසින් අල්ලා ගෙන පොලීසියට බාර දී ඇත.පලා ගොස් ඇත්තේ හලාවත – බංගදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්ණ කිරීම් වලදී එදිනම ආණමඩුව – තලාකොලවැව විහාරස්ථාන භූමියේ ස්ථාපනය කර ඇති අයියනායක දේවාලයේ පිං කැටය තමන් දෙදෙනා විසින් බිද එහි තිබූ මුදල් සොරකම් කළ බව සැකකරුවන් පිළි ගෙන ඇත.සැකකරු සතුව තිබී එම පිං කැටය බිද ලබා ගත් බව කියන රුපියල් 6700 ක මුදලක් සහ පිං කැට කැඩීමට යොදා ගන්නා උපකරණද,ඇදුම් කීපයක්ද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරුවන් තලාකොලවැව විහාරස්ථාන භූමියේ පිහිටි දේවාලයේ පිං කැටය බිදින ආකාරය එහි සවි කර ඇති ආරක්ෂිත කැමරා වල සටහන් වී තිබී ඇත.
සැකකරුවන් මේ ආකාරයට තවත් පිං කැට බිද ඇද්දැයි විමර්ශණ කටයුතු සිදු කරන බව පොලීසිය කියයි.
සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.