කුණුකෑම විකුණූ 5කට නඩු දමයි
උත්සව සමයේ පාරිභෝගික ජනතාවට මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර පාන හා පලතුරු අලෙවි කළ පැලවත්ත නගරයේ වෙළෙඳුන් පස් (05) දෙනකුට නඩු පවරා දහ (10) දෙනකුට අවවාද කළ බව වලල්ලාවිට පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. අතුකෝරල කීවේය.
කොරෝනා වසංගතය හේතුවෙන් මාස ගණනාවකින් වෙළෙඳසල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරික්ෂාවට ලක් නොවූ නිසා එළැඹෙන උත්සව සමයද සලකා මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන බවට ලද තොරතුරු අනුව මෙම සෝදිසි මෙහෙයුම සිදු කර ඇත.
කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සහ වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෙහෙයවීමෙන් වෙළෙඳසල් පරීක්ෂාව සිදු කර ඇත.
මීගහතැන්න, පැලවත්ත සහ ඉත්තාපාන කලාපවල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් එක්ව පැලවත්ත නගරයේ වෙළෙඳසල් 15ක නියැඳි පරික්ෂා කිරීමෙන් අනතුරුව මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු කීහ.
පැලවත්ත නගරයේ හෝටල සහ තේ කඩ අටක්, පලතුරු අලෙවිසල් තුනක්, සිල්ලර වෙළෙඳසල් හතරක් ඇතුළු ව්‍යාපාරික ස්ථාන පරික්ෂාවට ලක් කර ඇත. එහි දී මැසි මදුරුවන් හා දූවිලිවලට නිරාවරණය වන ලෙස පිසූ ආහාර අලෙවියට තැබීම, කල් ඉකුත් වූ හා ලේබල් නැති රසකැවිලි, බිස්කට්, පැණි බීම ආදිය හමුව ඇත.
ගුල්ලන් ගසා මනුෂ්‍ය පරිභා්ජනයට නුසුදුසු ධාන්‍ය වර්ග, පරිභෝජනයට නුසුදුසු අල, ලූනු සහ පරිභෝජනයට නුසුදුසු කුණු වූ පලතුරු අලෙවි කළ වෙළෙඳුන්ට තරයේ අවවාද කර මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කර වෙළෙඳ ආයතන යථා පරිදි සකසා ගැනීමට උපදෙස් ලබා දී ඇත.
මීගහතැන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මල්කා තුෂාරි ගුණසිංහගේ උපදෙස් හා මෙහෙයවීමෙන් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. අතුකෝරලගේ මෙහෙයවීමෙන් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් එක්ව වෙළෙඳසල් පරීක්ෂාව සිදු කර ඇත.
එස්. පොද්දෙණිය – මීගහතැන්න