News

කුමන ජාතික වනෝද්‍යානයේදි දිවියෙකුගේ පහරදීමෙන් පුද්ගලයෙක් මරුට

කුමන ජාතික වන උද්‍යානයේදි දිවියෙකුගේ පහරදීමකින් එහි සේවය කරමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

ඊයේ පස්වරු 2.00ට පමණ කුමන ජාතික වන උද්‍යානයේ කම්කරුවන් පිරිසක් අතුරු මාර්ගයක ප්‍රතිසංස්කරණ කටයුතු කරමින් සිටින අවස්ථාවේ එම ස්ථානයට කඩා වැදුනු දිවියෙකු එක් කම්කරුවෙකු වනය තුළට ඇදගෙන ගොස් ඇත.

ඉන් අනතුරුව එහි සිටි අනෙක් කම්කරුවකුවන් වනජීවී නිලධාරීන්ගේ සහාය ඇතිව එම පුද්ගලයා මුදවා ගැනීමට ගොස් ඇති අතර, ඔවුන් එම ස්ථානයට ළගා වන විටත් අදාළ පුද්ගලයා මියගොස් සිට ඇත.

තවද මොහුගේ දිවි බේරා ගැනීම සදහා යෑමට යොදාගත් පුද්ගලික ජීප් රථයක රියදුරකු එම ස්ථානයේදී ඡායාරූප ලබාගනිමින් සිටින අවස්ථාවේදී එම දිවියා විසින්ම රියදුරුට පහරදී තිබේ.

ඔහු බරපතල තුවාල ලබා පොතුවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා අම්පාර රෝහලට ඇතුළත් කර ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ වයස අවුරුදු 48ක් වූ පොතුවිල් ප්‍රදේශයේ පදිංචි සෙල්වදොරේ රවීචන්ද්‍රන් නමැති පුද්ගලයෙකි.