News

කුඹුරු ගොඩකරන්න හොර බලපත්‍ර 308ක් ගත් අයට වැඩවරදී

කුඹුරු ඉඩමක් ලෙස පවතින ඉඩමක් කුඹුරු ඉඩමක් නොවන බවට නීත්‍යනුකූල නොවන ආකාරයෙන් සහතික නිකුත් කර ඇති සිද්ධියක බලපත්‍ර වහාම අහෝසි කර එම බලපත්‍ර නිකුත් කළ නිලධාරීන්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කර විමර්ශනයක් ආරම්භ කරන ලෙසට අභියාචනාධිකරණය ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

නීත්‍යනුකූල නොවන ආකාරයට බලපත්‍රයක් ලබාගත් අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලයකුගේ බලපත්‍රයක් අත්හිටුවීමට එරෙහිව එම පුද්ගලයා ගොනුකළ නඩුවකින් පසු අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන එම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව දෙපාර්තමේන්තුවේ පොදු ලේඛනවල ලිපි ගොනු නොමැතිව නිකුත් කළ බලපත්‍ර මෙසේ අහෝසි කෙරේ. මෙමගින් රජයට ලැබිය යුතු ගාස්තු අහිමි වීමෙන් රාජ්‍ය දේපොළ අවභාවිත වී ඇති නිසා දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කරන ලෙසටද නියෝග කර තිබේ.

කෙසේ වෙතත් හිටපු ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් සුනිල් වීරසිංහ බලයේ සිටි 2013-2016 වසර තුනක කාලයේ බලපත්‍ර 308ක් ලබාදී ඇත. තොරතුරු දැනගැනීමේ පනතට අනුව කළුතර දැල්තර පාරිසරික සංවිධානය ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් ලබාගත් දත්ත අනුව ගොඩකිරීම නුසුදුසු ඉඩම් 163කට බලපත්‍ර ලබාදී ඇති අතර පොදු ලේඛන නොමැතිව බලපත්‍ර 145ක් ලබාදී ඇති බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් එම්. වීරසේකරගෙන් ‘අරුණ’ කළ විමසීමේදී පැවසුවේ ඊට මුල් වූ හිටපු කොමසාරිස් ජනරාල්වරයාගේ සේවය මේ වන විට අත්හිටුවා ඇති බවත් ඔහු ලබා දුන් බලපත්‍ර අත්හිටුවීමට නීති මගින් කටයුතු කරමින් සිටින බවත්ය. අභියාචනාධිකරණය ලබාදුන් නියෝගය අනුව අල්ලස් හෝ දූෂණ කොමිසමටද පැමිණිලි කර ඇති බව ඒ මහතා පැවැසීය.

කෙසේ වෙතත් වාර්තා වන අන්දමට 2016 වර්ෂයේ පෙර දාතම දින සඳහන් කරමින් තවදුරටත් කුඹුරු ඉඩම්වලට ගොඩ ඉඩම් බලපත්‍ර ලබාදීමේ ජාවාරමක් සිදුවන බවට තොරතුරු වාර්තා වේ.

චමින්ද සේනාරත්න