News

කොච්චිකඩේ පල්ලියට ආ සැකකටයුතු දෙදෙනා අත්අඩංගුවට

කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානය වෙත අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට පැමිණි බව කියමින් ඉකුත් පළමුවැනිදා ඇතුළු වූ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන රාජ්‍ය බුද්ධි අංශ මගින් විශේෂ විමර්ශනයක් අරඹා ඇත.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය භාර ප්‍රධාන පියතුමන් විසින් කළ පැමිණිල්ලක් මත පොලිස් බුද්ධි අංශ විසින් පෙරේදා (7 වැනිදා) මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් ජනවාරි 01 වැනිදා කොච්චිකඩේ දේවස්ථානය වෙත පැමිණ ඇත්තේ එහි දර්ගා සොහොන් තිබේදැයි දැකබලා ගැනීමට අවශ්‍ය බව කියමිනි. පොලිස් නිලධාරීන් පරීක්ෂාවකට ලක්කර මෙම දෙදෙනාට දේවස්ථානය වෙත යාමට දී ඇත්තේ පූජකවරුන්ගේ අවසරය මතය.

කාර්යබහුල තත්ත්වයක් නිසා මේ ගැන ඒ මොහොතේ අවධානය යොමු නොවුණද පසුව ඇතිවූ සැකය මත පසුගිය (4 වැනිදා) පොලිසියට පැමිණිලි කර ඇත. මේ අනුව සීසීටීවී කැමරා මගින් ඔවුන් පැමිණි වාහන අංක සොයා ගෙන විමර්ශන අරඹා ඇත. වැල්ලවත්තේ බෑග් නිෂ්පාදනාගාරයක් හිමි අයකු හා අලුත්කඩේ පදිංචි සුවඳ විලවුන් වෙළෙන්දකු මෙලෙස දේවස්ථානයට ඇතුළු වී ඇති බව වෙරළබඩ පොලිස් ස්ථානාපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක කුමාරගේ යටතේ කළ විමර්ශනයකදී හෙළිවී ඇත. මේ අනුව බලංගොඩ දේවස්ථානයකට ගොස් එමින් සිටියදී මෙම සැකකරුවන් දෙදෙනා වෙරළබඩ පොලිසිය මගින් පෙරේදා (7 වැනිදා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ නින්දේ සිටියදී කොච්චිකඩේ දේවස්ථානයට ගොස් ආශිර්වාද ලබාගන්නැයි දෙවියන් වහන්සේ පණිවුඩයක් දුන් නිසා මෙම දේවස්ථානය වෙත පැමිණි බව සැකකරුවන් පාපෝච්ඡාරණය කර ඇත. සැකකරුවන්ගේ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇති තොරතුරු මත ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමට රාජ්‍ය බුද්ධි සේවා පොලිස් විශේෂ කාර්යාංශ, බස්නාහිර පළාත් බුද්ධි ඒකකය ඇතුළු විමර්ශන කණ්ඩායම් කටයුතු කරයි.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා