කොතලාවල සරසවියෙන් කොරෝනා මඬින නව නිපැයුම්
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ පාඨමාලා හදාරනු ලබන ශිෂ්‍යයින් එක්ව කොරෝනා වසංගතය මැඬපැවැත්වීම සඳහා වෛද්‍ය උපකරණ හා උපාංග කිහිපයක් නිර්මාණය කොට තිබේ.
මෙලෙස නිර්මාණය කළ වෛද්‍ය උපකරණ හා උපාංග අතරින් වෛද්‍ය සහයක රොබෝ යන්ත්‍රය විශේෂ ස්ථානයක් ගනියි.
කොවිඩ්-19 ඇතුළු අනෙකුත් බෝවන රෝග සඳහා අවශ්‍ය බෙහෙත් සහ ආහාර ද්‍රව්‍ය රැගෙන ගොස් රෝගියාට ලබා දීමට මෙන්ම වෛද්‍ය උපකරණ පවා ක්‍රියා කරවීමට මෙම රොබෝ යන්ත්‍රයට හැකියාවක් ඇත. මෙම නව නිර්මාණය පිළිබඳ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු විමුක්ති සේනාරත්න මෙලෙස අදහස් දැක්වීය.
රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ ආරක්ෂාව සඳහා මෙම රොබෝ යන්ත්‍රය නිර්මාණය කළා. එමඟින් රෝගීන්ට අවශ්‍ය කරන බෙහෙත් වර්ග, කෑම බීම පහසුවෙන්ම ඔවුන් වෙත ලබා දීමට හැකියාව තියෙනවා.
එක්වරකට රෝගීන් අට දෙනකු සඳහා ආහාර සහ බෙහෙත් වර්ග ඔවුන් සිටින ඇඳ අසලටම රැගෙන යෑමට මේ රොබෝ යන්ත්‍රයට හැකියි. රෝගීන්ට කිසිඳු අපහසුතාවකින් තොරව එම ද්‍රව්‍ය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ අවස්ථාවේදීම මෙම රොබෝ යන්ත්‍රය හරහා රෝගීන් පරික්ෂාව සහ බෙහෙත් ලබා දීම සිදු කළ හැකියි. එසේම රොබෝ යන්ත්‍රය මත ස්ථාපනය කර ඇති රොබෝ අත අක්ශ 6ක් යටතේ නිදහසේ චලනය කළ හැකියි.
මෙම රොබෝ යන්ත්‍රය දුරස්ථ පාලකයක් මගින් හැසිරවීමේ හැකියාව මෙන්ම ගමන් ගන්නා මාර්ගයේ බාධක හඳුනා ගැනීමේ හැකියාව පැවතීම ද විශේෂත්වයකි.
එසේම මෙම පිරිස එක් වී කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක් ද නිෂ්පාදනය කොට ඇත. ශ්වසන අපහසුතා සහිත කොවිඩ් ආසාදිතයන් වෙත කෘත්‍රිම ශ්වසනය ලබා දීම සඳහා අඩු වියදමින් මෙය නිර්මාණය කර තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ ඔක්සිජන් මාරු කිරීමේ හැකියාවයි. එසේම ජංගම දුරකථනයකින් දත්ත වෙනස් කිරීමේ හැකියාව ද ඊට ඇත.
UV-C වායු පිරිසුදු කරන යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට ද ඔවුන් සමත්ව තිබීම තවත් විශේෂත්වයකි.
මෙම පිරිසුදු කරන යන්ත්‍රයට UV-C කිරණ භාවිතයෙන් වායු ගෝලයේ ඇති SARS COV-2 වෛරසය වැනි රෝගකාරක විනාශ කිරීමට හැකියාව ඇත. මෙම යන්ත්‍රය ශ්වසනාබාධ සහිත රෝගීන් සිටින රෝහල් වාට්ටුවක වාතය පිරිසුදු කිරීම සඳහා යොදා ගැනීමේ හැකියාව පවතියි. රුපියල් හතළිස් දහසකට නොවැඩි මුදලකින් මෙය නිෂ්පාදනය කිරීමට හැකි වී ඇත.
තවද කොවිඩ්-19 රෝග ලක්ෂණ සහිත ඕනෑම පුද්ලයකුට වෛද්‍යවරයකු එසැනින් සම්බන්ධ කරවීම එම රෝගියාගේ සංචරණයන් අධ්‍යනය කිරීමට කොවිඩ් 19 මර්දන හා පාලන ජංගම මෘදුකාංග යෙදුමක් නිපදවීමට මෙම විශ්වවිද්‍යාල සිසුන්ට හැකියාව ලැබී තිබේ.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ සහාර ප්‍රේමරත්න සිසුවිය සඳහන් කළේ රෝගියාගේ සංචරණයන් අධ්‍යනය කිරීම දුරස්ථ වෛද්‍ය උපදෙස් ලබා දීම හා රෝග තත්ත්වය නිරීක්ෂණය ඇතුළු කොවිඩ්-19 මර්දනය හා පාලනය සඳහා අවශ්‍ය පහසුකම් රැසකින් යුක්තව වෛද්‍ය උපදෙස් සහ නිර්දේශයන් මත මෙම නවීන ජංගම මෘදුකාංග යෙදුම් නිපදවා ඇති බවය.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමේ සාමූහික උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ශ්වසන ආධාරක යන්ත්‍රයක් නිපදවා ඇත.
දේශීයව සපයාගත හැකි අමුද්‍රව්‍ය භාවිතයෙන් මෙය නිපදවීම විශේෂත්වයකි. මෙම යන්ත්‍රයට ශ්වසනා ආධාරක ක්‍රියාවලියේ සියලු අත්‍යවශ්‍ය ප්රමිතීන් පාලනය කිරීමට හැකියාව පවතියි.
එසේම ශ්වසන ආධාරක ක්‍රියාවලිය තුළ දී විශබීජ කාරක කුඩා බිඳිති උත්පාදනය වීම අවම වන ආකාරයට මෙම යන්ත්‍රය නිමවා ඇත. මීට අමතරව
එක් රෝගියකුගෙන් තවත් රෝගියෙකු වෙත යන්ත්‍රය හුවමාරු කිරීමේ දී සිදුවන ප්‍රමාදයන් මඟ හරවා ගැනීම සඳහා වන ස්වයං විශබීජ නාශක යන්ත්‍රයකින් ද මෙය සමන්විතය.
වරුණි පෙරමුණ
