කොරෝනා පැතිරීම පාලනයට විශේෂ තීරණ කිහිපයක්
කොරෝනා වෛරසය පැතිරයාමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන හෙයින් එය පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සඳහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද දිනයේත් (25) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්ව තිබේ.
මෙහිදී කොවිඩ් 19 මර්ධනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සෞඛ්‍ය හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ද ක්‍රියාකාරි ඒකකයක් ලෙස ක්‍රියාත්මක විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යතුමිය පෙන්වා දී ඇත.
ඒ අනුව ඇඳිරි නීතිය ඉවත් කර ඇති දිස්ත්‍රික්ක වල මෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු හරහා රේඛීය අමාත්‍යාංශයේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයට ලබාගැනීමට පියවර ගැනීම පිළිබඳවත්, මීට අදාල කටයුතු රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආපදා කළමණාකරණය අමාත්‍යාංශය සමඟ එක්ව මෙහිදී සිදු කළ යුතු බව ද පෙන්වා දී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල් හා ආයතනවල PCR යන්ත්‍ර 55 ක් වන බවත්, විශ්ව විද්‍යාල සතුව PCR යන්ත්‍ර 47 ක් සහ පෞද්ගලික ක්ෂේත්රය සතුව PCR යන්ත්‍ර දැනට 15 ක් පමණ ඇති බවත් PCR පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණය අනුව මෙම යන්ත්‍ර සියල්ලම පරීක්ෂණ කටයුතු සදහා යොදවා ගැනීම පිළිබදවත් මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.
විවිධ රෝග සඳහා රෝහල් පද්ධතිය තුල නේවාසික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් පිළිබදව හා බාහිර රෝගී සායන වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් පිළිබදව විශේෂ අවධානයක් යොමුකළ යුතු බවද සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.
