කොරෝනා මරණ ලක්ෂ 5 ඉක්මවූ රටක්
කොවිඩ්-19 වැලඳීමෙන් ඇමරිකාවේ මිය ගිය සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා තිබේ. ඒ අනුව ලෝකයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙනි. ඇමරිකාව මෙම සීමාව පසුකර ගියේ එරට පළමු කොවිඩ් මරණය වාර්තා වී ආසන්න වශයෙන් වසරකට පමණ පසුවය. පළමු මරණය වාර්තා වූයේ එරට කැලිෆෝනියා ප්‍රාන්තයෙනි. ඇමරිකාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 28 ඉක්මවා තිබේ.
‘අද අප සැබැවින්ම සිත් කම්පා කරවන සීමාවක් පසු කළා’ ධවල මන්දිරයේ පැවැති, ශෝකය පළ කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමින් ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබිණි. මිය ගිය අය සිහිපත් කරමින් ඉටිපහන් දැල්වීමක්ද එහි දී සිදු විය. ‘පළමු සහ දෙවැනි ලෝක යුද්ධවලදීද, වියට්නාම යුද්ධයේදීද මිය ගිය සම්පූර්ණ සංඛ්‍යාවට වඩා ඇමරිකානුවන් සංඛ්‍යාවක් මෙම වසංගතය නිසා මේ වසර තුළ මියගොස් තිබෙනවා. වෙන කිසිම රටක මිය ගිය ගණනට වඩා වැඩි සංඛ්‍යාවක් ඇමරිකාව තුළ මියගොස් තිබෙනවා.’ යයිද ඔහු තවදුරටත් සඳහන් කර තිබිණි.
කෙසේ වෙතත් මේ වන විට එරටින් නව ආසාදිතයන් වාර්තා වීම කෙමෙන් අඩු වෙමින් ඇති ආකාරයක් දැකිය හැකි වේ. එන්නත්කරණ වැඩසටහන් වේගවත් කිරීමත්, සෞඛ්යාරක්ෂක ක්‍රම අනුගමනය කිරීම සඳහා ජනතාව උනන්දු කිරීමත් මෙයට හේතු වී ඇත. ජෝ බයිඩ්න් බලයට පත් වීමෙන් පසු කොරෝනා වයිරස ව්‍යාප්තිය මර්දනය සඳහා බොහෝ පියවර ගනු ලැබිණි. නව ආසාදිතයන් වාර්තා වීමෙහි අඩුවක් දක්නට ලැබුණත් ඇමරිකානු ජනතාව තවදුරටත් ආරක්ෂක පියවර අනුගමනය කළ යුතු බව එරට ප්‍රධාන පෙළේ වසංගතවේදියකු වන වෛද්‍ය ඇන්තනි ෆෝසි සඳහන් කරයි. වසංගතය ප්‍රමාණවත් තරමින් පාලනය කිරීම සඳහා එන්නත් කළ යුතු තරම් ජනතාවක් තවමත් එන්නත් කර නොමැති බව ඔහු මෙහි දී පෙන්වා දී තිබිණි.
සහන් වික්‍රමගේ