News

කොවිඩ් නිසා සාගතයක් අත ළඟ

කොවිඩ් වසංගතය නිසා ලොව පුරා මහා සාගතයක් ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. එහි අනුබද්ධ ආයතනයක් වන ලෝක ආහාර වැඩසටහනේ (WFP) ප්‍රධානී ඩේවිඩ් බීස්ලි පවසන්නේ එවැනි ව්‍යවසනයක් වළක්වා ගැනීම සඳහා වහාම පියවර ගත යුතු බවයි. මේ වනවිට එක්සත් ජාතීන් විසින් ඇස්තමේන්තු කර ඇති ආකාරයට ලොව පුරා කුසගින්නෙන් පෙළෙන සංඛ්‍යාව මිලියන එකසිය තිස්පහේ සිට දෙසිය පනහ දක්වා ඉහළ යා හැකිය.

ගැටුම්, ආර්ථික අර්බුද සහ දේශගුණික විපර්යාස නිසා පීඩාවට පත් රටවල් දහයක ජනතාව මෙම අවදානමට මුහුණදෙනු ඇතැයි ලෝක ආහාර වැඩසටහන සඳහන් කරයි. මෙලෙස අර්බුදයට ලක්වන රටවල් අතර යේමනය, කොංගෝ, ඇෆ්ගනිස්ථානය, වෙනිසියුලාව, ඉතියෝපියාව, දකුණු සුඩානය, සුඩානය, සිරියාව, නයිජීරියාව සහ හයිටි යන රටවල් ඉදිරියෙන් සිටින බවද එම සංවිධානය තවදුරටත් පෙන්වා දෙයි. අප්‍රිකාවේ මෙන්ම දකුණු ආසියාවේ රටවල් කිහිපයක්ද කොවිඩ් -19 වසංගතයට පෙර සිටම නියඟයෙන් හා පළගැටි උවදුරින් පීඩාවිඳින බැවින් එම රටවලද දැවැන්ත ආහාර අර්බුදයක් උද්ගතවිය හැකි බව ලෝක ආහාර වැඩසටහන වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

නයන තරංග ගමගේ