කොවිඩ්-19ට මුහුණදෙන්න සාර්ක් ඇමැති කමිටුවක්
මාරාන්තික කොවිඩ් -19 වෛරසය පිටුදැකීම සඳහා සාර්ක් කලාපයේ විශේෂ ඇමැති මට්ටමේ කණ්ඩායමක් සංවිධානය කළ යුතු බව ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.
මැතිවරණය ස්ථිරවම අප්‍රේල් 25 වැනිදා
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සියලුම සාර්ක් නායකයන් සජීවීව වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. මෙම සාකච්ඡාව ඊයේ (15 වැනිදා) සවස පැවැති අතර මෙම හදිසි රාජ්‍ය නායක හමුව සංවිධානය කර තිබුණේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි විසිනි.
යෝජනා කරන ඇමැති මට්ටමේ කණ්ඩායම ඔස්සේ කලාපයේ රටවල අත්දැකීම් හුවමාරු කර ගැනීම, වෛරසයට එරෙහිව සටන් කිරීම්දී කලාපය පොදුවේ සහ රටවල් වෙන වෙනම මුහුණදෙන අභියෝග පිළිබඳව විශ්ලේෂණය කර විසඳුම් ළඟාකරගත හැකි බවද ජනාධිපතිවරයා පැවසීය.
සාක් කලාපයේ සියලුම රාජ්‍ය නායකයන් අදහස් දැක්වූ මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවට වෛරසයේ බලපෑම එල්ලවී තිබුණද නියම කරගෙන ඇති ආකාරයට අප්‍රේල් 25 වැනිදා මෙරට මහ මැතිවරණය පවත්වන බවයි.
‘‘අපට එල්ලවී ඇති අවදානම අභියෝගය වන්නේ වෛරසය රටට ඇතුළුවීම වැළැක්වීමයි. රටට නැවත පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නැවැත්වීමට අසීරුයි. කෙසේ වෙතත් එසේ පැමිණෙන සියල්ලන් අපි දින දාහතරක නිරෝධායනයකට යොමු කරනවා’’
එසේ පැවැසූ ජනාධිපතිවරයා දැනට පෙර පාසල්, පාසල් ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන වසා දමා පොදු ප්‍රවාහන සේවා පිරිසුදු කිරීමට කටයුතු කර ඇති බවද පැවසීය.
‘‘වෛරසය ආසාදනය වූවන් වෙනුවෙන් සියලු පහසුකම් සහිත අයි.ඩී.එච්. රෝහල සූදානම් කර තිබෙනවා. ඒ වගේම ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කර තිබෙනවා. ඒ වගේම පැය විසිහතරම තොරතුරු දැන ගැනීමට හැකියාව ඇති තොරතුරු සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපනය කර තිබෙනවා’’
ජනතාව අවශ්‍ය ලෙස කලබලවීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් හඳුන්වාදී ඇති බවද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ප්‍රධාන රෝහල සමග තවත් රෝහල් 12ක් රෝගීන් වෙනුවෙන් සූදානම් කර ඇති බවද සඳහන් කළේය. වෛරසය මුලින්ම ව්‍යාප්ත වූ චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 34දෙනා ආරක්ෂිතව රටට රැගෙන ඒමට ලැබුණු හැකියාව පිළිබඳවද සිහිපත් කළ ජනාධිපතිවරයා ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පැවැත්වීමට නියමිත ප්‍රචාරක රැලි මෙන්ම වෙනත් ජනතා රැස් කිරීම්ද අත්හිටුවීමට උපදෙස් ලබාදී ඇතැයිද වැඩිදුරටත් සාර්ක් රාජ්‍ය නායකයන් හමුවේ පැවැසීය.
මෙම සාර්ක් රාජ්‍ය තාන්ත්‍රික වේදිකාව නිර්මාණය කිරීමට මැදිහත්වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙහිදී අවධාරණය කළේ කොවිඩ් -19 වෛරසය යනු අප තවමත් හඳුනා නොගත් අභියෝගයක් බවයි. මෙම අභියෝගයට මුහුණදීම සඳහා අනවශ්‍ය කලබලයකින් තොරව කටයුතු කළ යුතු බවද අගමැතිවරයා සඳහන් කළේය. එසේම දීර්ඝ ඉතිහාසයකින් එකට බැඳී ඇති කලාපයේ සියලුම රාජ්‍යයන් එකට එක්වී, ක්‍රියාත්මක වී අවසානයේ අභියෝගය හමුවේ සාර්ථක විය යුතු බවද ඉන්දීය අගමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම රාජ්‍ය නායක හමුවට ඉන්දීය සහ ශ්‍රී ලංකා රාජ්‍ය නායකයන්ට අමතරව පාකිස්තානයේ, බංග්ලාදේශයේ, නේපාලයේ, භූතානයේ, මාලදිවයිනේ, ඇෆ්ගනිස්ථානයේ රාජ්‍ය නායයෝ එක්ව සිය රටවල් කොවිඩ් -19 අභියෝගයට මුහුණදෙන ආකාරය පිළිබඳව අත්දැකීම් බෙදා ගත්හ.
එසේම කොවිඩ් -19 වෛරසය පිටුදැකීම සඳහා සාර්ක් කලාපීය අරමුදලක් ආරම්භ කිරීමේ වැදගත්කම පෙන්වාදුන් ඉන්දීය අගමැතිවරයා ඒ වෙනුවෙන් ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක මූලික මුදලක් ලබාදීමටද මෙහිදී කැමැත්ත පළකළේය.
නයන තරංග ගමගේ
