News

කෝටියකට වැඩිය වටිනා රන් බිස්කට් සමග 3ක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් එක් කෝටි හතලිස් තුන් ලක්ෂ අනූ අට දහස් අට සිය හැටක් (1,43,98,860 ) වටිනා රන් බිස්කට් තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවැසුවේ ඊයේ (15) රාත්‍රීයේදි මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48, 46 සහ 44 යන වයස් වල පසුවන ව්‍යාපාරිකයෝ තිදෙනෙක් වනවා.

මොවුන් තිදෙනා ඊයේ (15) රාත්‍රී 10.50 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඔවුන් විසින් සකස් කරගෙන විත් තිබූ ලෝහමය බට 06 ක් තුළ මෙම රන් බිස්කට් තොගය දමා ගෙන , එම බට ඔවුන්ගේ භාණ්ඩ තබාගෙන යන ගුවන් තොටුපොළ තුළ භාවිතා කරන ට්‍රොලි කරත්ත තුළ මෙම ලෝහ බට දෙක බැගින් සගවා ගෙන , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත ” ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම ව්‍යාපාරිකයන් තිදෙනා අත් අඩංගුවට ගෙන තිබුණා.

මෙහි ග්‍රෑම් 100 බැගින් බර වූ රන් බිස්කට් 24 ක් දෙකට කපා එම රන් බිස්කට් කැබලි 48 මෙම ලෝහ බට තුළ මොවුන් සගවා ගෙන තිබූ අතර , එම රන් බිස්කට් සියල්ලේම මුළු බර කිලෝ 02 යි ග්‍රෑම් 400 ක් බව රේගුව ප්‍රකාශ කරනවා.