News

ඛනිජ තෙල් සංස්ථා ප්‍රධාන කාර්යාලයේ කලහකාරී ලෙස හැසිරුනු අනෙක් පාර්ශව කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණයෙන් නියෝග

දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා ප්‍රධාන කාර්යාල පරීශ්‍රයේදී පසුගිය ඔක්තෝබර් 28 වැනිදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට පත්වූ පොලිස් නිලධාරියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ එම නඩුව අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදුන් බවයි.

අධිකරණය විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දෙනු ලැබුවේ මෙහිදී අපරාධයක් සිදුවී ඇති බැවින් විමර්ශන ගොනු ගරු නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර වැඩිදුර උපදෙස් ලබාගන්නා ලෙසයි.

එමෙන්ම අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාශයට වැඩිදුරටත් නියෝග කරනු ලැබුවේ මෙම සිද්ධියේදී කලහකාරී ලෙස හැසිරුනු අනෙක් පාර්ශවයේ සැකකරුවන් ද කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

මෙම නඩුව නැවත ජනවාරි මස 11 වනදා කැදවීමට නියමිතයි.