ගානියා බැනිස්ටර් ට අධිචෝදනා භාරදෙයි
කිසියම් පිරිසක් විසින් තමන් පැහැරගෙන ගිය බවට පොලිසියට බොරු පැමිණිලි කිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගනියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ.
අද (09) එම නඩුව කැදවනු ලැබූ අවස්ථාවේ විත්තිකාර ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමැත්තිය අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර, නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර විත්තිකාරියට භාරදීම සිදුවිය.
ඉන් අනතුරුව විත්තිකාර ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් පෙර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.
නඩුව ජූනි මස 04 වැනිදා යළි කැදවීමට නියම කෙරුණු අතර, එදින විත්තිකාරිය අධිචෝදනා පත්‍ර කියවා දී නඩු විභාගය සදහා දින නියම කිරීමට නියමිතව තිබේ.
ඉකුත් 2019 වසරේ නොවැම්බර් මස 25 වැනිදා කොළඹ 07 කුරුදුවත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් පස්දෙනෙකු විසින් තමන්ව පැහැරගෙන ගොස් ගිනිඅවි පෙන්වා තර්ජනය කර පැය කිහිපයක් රදවා තබාගත් බවත් රටින් පළාගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බවට ගානියා බැරිස්ටර් විසින් මීට පෙර පවසා තිබුණි.
එමෙන්ම පැහැර ගැනීමේදී තමන්ට එම පුද්ගලයින් විසින් ලිංගික හිරිහැර කළ බව ද ඇය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි කර තිබුණි.
ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අසත්‍ය පැමිණිල්ලක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකාරියට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.