News

ගැටුමකින් මන්ත්‍රීවරයෙකු ඇතුළු සිව් දෙනෙකු රෝහලේ

ආණමඩුව ප්‍රාදේශීය සභාවට අයත් පල්ලම සති පොල සම්බන්ධයෙන් ඇති වූ ගැටුමකින් තුවාල ලබා ඇති සිව් දෙදෙනෙකු ප්‍රතිකාර සදහා හලාවත දිස්ත්‍රික් මහා රෝහලට ඇතුළත් වී ඇත. ඒ අතර ආණමඩුව ප්‍රාදේශීය සභව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුද වේ.

පසුගිය 17 වැනිදා මෙම පල්ලම නගරයේදී මෙම ගැටුම සිදුවී ඇත.පල්ලම සති පොල 2019 වර්ෂය සදහා බදු දීම සදහා ආණමඩුව ප්‍රාදේශීය සභාව විසින් ටෙන්ඩර් පත් කැදවා ඇත. එහිදී වැඩිම ලංසුව ලබා ගත් පුද්ගලයාට එය හිමිවී ඇත.පසුගිය දිනවල සිදුවූ ආණ්ඩු පෙරළියත් සමග සති පොලේ අයිතිය තමන්ට බව එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් පවසා ඇත. ඒ අනුව ගැටුම සිදුවී ඇති බව පොලීසිය කියයි.

ගැටුමට සම්බන්ධ පාර්ෂව දෙකම මේ වන විට ප්‍රතිකාර සදහා රෝහල් ගතවී සිටී. කිසිවෙකුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි. පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ජුඩ් සමන්ත