ගුවන් කිරිල්ලියන් දෙදෙනෙක් පළමු වරට නිදහස් දවසේ රිසි සේ අහසේ…
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුලින්ම ස්ථාපිත කළේ 1951දී. ඒ ගුවන් හමුදාවට කාන්තා සෙබළියන් බඳවාගත්තේ ඊටත් අවුරුදු 21 කට පස්සේ 1972 දි. හැබැයි ඒ කාන්තා සෙබළියන්ට ගුවන් නියමුවරියන් වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ අවස්ථාව ලැබුණේ පිරිමි සෙබළුන්ට විතරයි. 2017දී ඒ තීරණය වෙනස් වුණා. ඊටපස්සේ ගුවන් හමුදාවට ගුවන් නියමුවරියන් බඳවාගැනුනා. ඒ අනුව ලංකා ගුවන් හමුදා ඉතිහාසය වෙනස් කරමින් 2020 දි පළවැනි පාරට කාන්තා ගුවන් නියමුවරියන් දෙදෙනෙක් බිහිවුණා.
ලංකාවේ කාන්තා ගුවන් නියමුවරියන්ගේ ඉතිහාසය මතක් කළේ පසුගිය පෙබරවාරි 04 වැනිදා කොළඹදී තිබුණු 76 වැනි නිදහස් උත්සවේදි දැකපු සුවිශේෂී දෙයක් නිසයි. ගුවන් හමුදාව උඩුගුවනේදි කරන ගුවන්යානා පෙළපාලිය නිදහස් උත්සවයේ කවුරුත් කැමතිම අංගයක්. මෙදා සැරේත් ඒ පෙළපාලියට ගුවන් හමුදාව සතු යානා විස්සකට ආසන්න සංඛ්‍යාවක් යොදාගෙන තිබුණා. විශේෂත්වය ඒ අතරේ යානා දෙකක කාන්තා ගුවන් නියමුවරියන් දෙදෙනෙකුත් හිටපු එකයි. 76 අවුරුද්දක් තිස්සේ අපේ රටේ නිදහස් උත්සව තිබුණත් කාන්තා ගුවන් නියමුවරියන් දෙදෙනෙක්ට නිදහස් උත්සවේක අහසේ සැරිසරන්න අවස්ථාව ලැබුණේ ලංකා ඉතිහාසයේ පළවැනි වතාවටයි. ඒ නිසාම සමාජ මාධ්‍යවල වුණත් මේ ගැන සෑහෙන හාහූවක් ඇතිවුණා. ඉතින් ඒ විශේෂත්වය නිසාම මේ පාර ‘ධරණී’ කවරය ඔවුන්ගේ රුවින් සරසන ගමන් මේ ගුවන් නියමුවරියන්ගේ කතාව ඔබත් එක්ක බෙදාගන්න ඕන කියලා අපි හිතුවා.
එදා ඒ විදියට නිදහස් උත්සවයේ ගුවන් යානා පැදෙව්වේ, ෆ්ලයිට් ලෙෆ්ටිනන් රංගනා වීරවර්ධන සහ ෆ්ලයින් ඔෆිසර් සඳුනි රවිහංසියි. අපි මේ කතාවට මුලින්ම එකතු කරගත්තේ රංගනා වීරවර්ධනව.
“පළවැනි සැරේට ගුවන් හමුදාවට ගුවන් නියමුවරියන් ගත්තේ 2017දි. ඒ වතාවෙම ගුවන් හමුදාවට බැඳෙන්න මට වාසනාව ලැබුණා. වසර තුනක පුහුණුවකට පස්සේ මමයි පවිත්‍රා ගුණරත්නයි ලංකාවේ පළවැනි ගුවන් නියමුවරියන් බවට පත්වුණේ 2020දි.”
ෆ්ලයිට් ලෙෆ්ටිනන් රංගනා වීරවර්ධන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් නියමුවරියන් දෙදෙනාගෙන් එක් අයෙක්. ඉතිහාසයේ ආයෙත් නම තියන්න දෙවැනි වතාවටත් අවස්ථාවක් උදාවීමට තරම් ඇය වාසනාවන්තයි කියලයි අපිට හිතුණේ.
“මීට කලින් කිසිම අවස්ථාවක ගුවන් හමුදා කාන්තා ගුවන් නියමුවරියන් නිදහස් උත්සවේ ගුවන්යානා පෙළපාලියට සහභාගිවෙලා නෑ. ඉතින් පළවැනි පාරම එයට සහභාගි වීමට අවස්ථාව ලැබුණු ඒක මගේ ජීවිතේට ලැබුණු ලොකු අභිමානයක්. එදා මං පැදෙව්වේ AN – 32B වර්ගයේ ගුවන්යානයක්.”
මේ අවස්ථාව ලබලා දෙන්න බලලා තියෙන ප්‍රධානම සුදුසුකම ඔවුන් පදවලා තියෙන ගුවන් පැය ගණන. ගුවන් පැය 250ක් පමණ ගුවනේ ගත කරලා තිබුණු නිසායි මේ අවස්ථාව ඇයට ලැබිලා තියෙන්නේ.
“එච්චර කාලයක් ගුවනේ ගතකරලා තිබුණත් හිතට චකිතයක් තිබුණා. මොකද ඒක රටක් ලෝකයක් බලාගෙන ඉන්න අවස්ථාවක්. අනික නියමිත කාලයක් ඇතුළත කරන වැඩක්. පුංචි වරදක්වත් වෙන්න බැරි නිසා කොච්චර අත්දැකීම් තිබුණත් මට ඒ අවස්ථාව දැනුණේ ලොකු අභියෝගයක් විදියටයි.”
ගුවන් හමුදාව කියන්නේ අභියෝග හමුවේ නොසැලෙන පිරිසක් ඉන්න තැනක්. අංක 2 ප්‍රවාහන බලගණයට අනුයුක්තව සේවය කරන ෆ්ලයිට් ලෙෆ්ටිනන් රංගනා AN – 32B ගුවන්යානයෙන් ගුවන් පෙළපාලියට එකතුවෙලා තිබුණේ දීර්ඝව පුහුණුවීම් කරලයි. ඒත් එක්ක එන ඕනම අභියෝගයකට සාර්ථකව මුහුණදෙන්නලු ඇය බලාගෙන හිටියේ.
“කොහොමත් අපි ගුවන් නියමුවරියෝ විදියට පුහුණු වුණු අය. ඒත් ඉතින් පෙරඩ් එකට කලිනුත් පුහුණුවීම් කළා. මොකද ඒක ලොකු වැඩක්නේ. මහන්සි බලන්නේ නැතුව පුහුණු වුණ නිසා අන්තිමට සාර්ථකව වැඩේ කළා.”
ගුවන්යානා පෙළපාලියෙන් පස්සේ ගුවන් හමුදාපතිතුමා ඇතුළු ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් කිහිපදෙනෙක්ම රංගනාට සුබපැතුවලු. ඒත් ඒ හැමදේටම වඩා රංගනාගේ සතුට තියෙන්නේ ඇගේ හපන්කම් පළමු වතාවට ගෙදර අයට දැකගන්න ලැබුණු එක ගැනලු.
“අම්මයි, තාත්තයි ටීවී එකෙන් පෙරඩ් එක බැලුවා. එයාලට ගොඩක් සතුටුයි. පළවැනි සැරේටයි ඒ අය මං එහෙම ෆ්ලයි කරනවා දැක්කේ.”
ගුවන් නියමුවරියන් බඳවගන්නවා කියලා පුවත්පතක දාලා තිබුණු දැන්වීමක් දැකලයි රංගනා ගුවන් හමුදාවට බැඳිලා තියෙන්නේ. ඒ වෙද්දි ඇයට සරසවි වරම් උදාවෙලා තිබුණත් ගුවන් හමුදාව තෝරගන්න කියලලු ඇගේ හිත කිව්වෙම.
“මට සාමාන්‍යපෙළට A9ක් තිබුණා. ජීව විද්‍යා අංශයෙන් උසස්පෙළ කරලා කැම්පස් පාස්වුණා. ඒත් ඔය අතරෙදි දැකපු පත්තර දැන්වීමක් නිසා මගේ හිත වෙනස් වුණා. ඒකට මගේ පවුල් පසුබිමත් බලපෑවා. මොකද මගේ අම්මා තාත්තා දෙන්නත් ගුවන් හමුදාවේ සේවය කරපු අය.”
එදා ගත්තු තීරණය ගැන අද රංගනාට තියෙන්නේ ලොකු සතුටක්.
“ගුවන් හමුදාවට බැඳුණු එක ගැන මට ගොඩක් ආඩම්බරයි. ගුවන් හමුදාවට බැඳුණට පස්සේ මං කොච්චර ශක්තිමත්ද කියලා මං තේරුම්ගත්තා. ඒ විතරක් නෙවෙයි ඕනම අභියෝයකට මුහුණදෙන්න පෞරුෂයක් හදාගත්තේ ගුවන් හමුදාව නිසයි. ඉතින් ඒ වෙනුවෙන් ඇපකැපවුණු ගුවන්හමුදාපතිතුමා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් හැමෝම මං මේ වෙලාවේ මතක් කරනවා.”
දිවුලපිටිය මුද්දරගම මේ අභීත ගුවන් නියමුවරිය රංගනා ‘ධරණී’ කියවන අය වෙනුවෙන් අවසානෙදි මෙහෙමත් කිව්වා.
“ගොඩාක් තරුණියෝ මේ නිල ඇඳුමට ආසයි. ඒත් රැකියාවක් විදියට ගුවන් හමුදාව වගේ තැනක් තෝරගන්න සමහරු බයයි. එහෙම බයවෙන්න එපා. අභියෝගවලට නිර්භයව මුහුණදෙන්න පුළුවන් කෙනෙක් නම් මේ ඇඳුමෙන් දුර ගමනක් යන්න පුළුවන් අනිවාර්යයෙන්ම.”
මීට අවුරුදු කීපයකට උඩදි වීරවිල ගුවන් හමුදා කඳවුරේ තිබුණු ගුවන් හමුදා ප්‍රදර්ශනයක් බලන්න ගිහින් ගුවන් නියමුවරියක් වෙන්නට පාර කපාගත්තු ෆ්ලයින් ඔෆිසර් (පියාසර නිලධාරිනී) සඳුනි රවිහංසි එක්කයි ඊළඟට අපි කතා කළේ. නිදහස් දා ගුවන් හමුදා පෙළපාලිය නියෝජනය කරපු අනෙක් ගුවන් නියමුවරියයි ඇය.
“පුංචිම කාලේ මට ආසාව තිබුණේ ගුරුවරියක් වෙන්න. ඒත් උසස්පෙළ කරලා ප්‍රතිඵල එනකල් ගෙදරට වෙලා ඉන්නැද්දි තමයි ඒ හීනය වෙනස් වුණේ. මම තිස්සමහාරාමේ. ඉතින් සැරයක් වීරවිල ගුවන් හමුදා කඳවුරේ තිබුණු ප්‍රදර්ශනයක් බලන්න ගියා තාත්තත් එක්කලා. එදා ගුවන් හමුදාවට කාන්තා ගුවන් නියමුවරියන් බඳවගන්න ඇප්ලිකේෂන් දාන්න තිබුණා. මමත් ඉතින් එවෙලෙම තාත්තගෙන් අහලා ඇප්ලිකේෂන් එකක් දැම්මා. ටික දවසකින් ගෙදරට ඉන්ටවීව් එන්න කියලාත් ලියුම ආවා. මං ගුවන් නියමුවරියක් වෙනවා කියලා මම තීරණය කළේ ඒ වෙලාවෙයි.”
ශ්‍රී ලංකා ගුවන් හමුදා පියාසර නිලධාරිනියක් විදියට ඇය සේවයට එකතුවෙලා තියෙන්නේ 2019දී.
“76 වසරක නිදහස් උළෙල ඉතිහාසයේ ගුවන් හමුදා පෙළපාලියට එකතුවුණු පළමු ගුවන් නියමුවරියන් දෙදෙනාගෙන් කෙනෙක් වෙන්න මට අවස්ථාව ලැබුණේ ඔය අතරේ. ඒ ගැන ලොකු ආඩම්බරයක්, අභිමානයක් මගේ හිතේ තියෙනවා. Y – 12 ගුවන්යානයක සහාය ගුවන් නියමුවරිය විදියටයි මං එදා පෙරඩ් එකට ගියේ.”
ඒ වෙද්දි සඳුනි ගුවන් පැය 200කට ආසන්න ප්‍රමණයක් උඩුගුවනේ සම්පූර්ණ කරලා තිබුණලු. පොළොව මට්ටමේ ඉඳන් අඩි දහදාහකට ඉහළින් ගුවනේ හරඹපාන්න ඒ මහඟු අවස්ථාව ඇයට ලැබෙන්නේ ඒ අනුවයි.
“මට ලැබුණු ඒ අවස්ථාව ගැන වචනයෙන් කියන්න තේරෙන්නේ නෑ. මොකද නියමුවරියක් විදියට කොයි තරම් ගුවන්යානා පදවලා තිබුණත් එදා දැනුණු ආඩම්බරය වගේ එකක් මට කවදාවත් දැනිලා තිබුණෙ නෑ. ගෙදර අය, යාළුවෝ, ගුරුවරු හැමෝම මට සුබපැතුවා. අංක 8 පියාසර බලගණයේ අණදෙන නිලධාරිතුමා සහ අධ්‍යක්ෂක ජෙනරාල් ගුවන් මෙහෙයුම් නිලධාරිතුමා වගේම ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ නිලධාරිතුමාත් මේ වෙලාවේ මතක් කරන්න ඕන.”
මේ 2024 අවුරුද්දට සඳුනි ගුවන් හමුදාවට බැඳිලා අවුරුදු 5ක්. ඒ අතර කාලයේ වුණු අමතක නොවෙන සිදුවීම් ගැනත් අපි අහලා බැලුවා.
“මුලින්ම පියාසර කරපු දවස නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ. එදා ඉහළට යන්න යන්න හිත ගැස්සුණා. බය හිතුණා. හැබැයි ඒක වෙනම අත්දැකීමක්. මේ නිල ඇඳුම නිසයි මට හැමදේම ලැබුණේ.”
සඳුනිට ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි. ඒ හැමෝම සඳුනි ගැන හුඟාක් ආඩම්බර වෙනවා කියලයි ඇය කිව්වේ. ඒ ආඩම්බරය දවසක ‘ධරණී’ කියවන ඔබේ පවුලේ අයටත් දෙන්න පුළුවන් නම් ඒ අවස්ථාව මගඇරගන්න එපා කියලත් අවසාන වශයෙන් ඇය කිව්වා.
“ගුවන් නියමුවරියක් වෙන්න ආසාවෙන් ඉන්නවා නම් බය නැතිව ඒකට යොමු වෙන්න. මං බය නැතුව එහෙම කියන්නේ ගුවන් හමුදාව නිසා මං අද වෙද්දි ඉන්න තැන ගැන හිතලයි. ගුවන් හමුදාව කියන්නේ අභිමානවත් රැකියාවක්. තරුණයින්ට වගේම තරුණියන්ටත් ලොකු ගමනක් මේ හරහා යන්න පුළුවන්.”
ඉතින් ලංකා ඉතිහාසයේ අලුතින් නම් ලියූ කාන්තා ගුවන් නියමුවරියන් දෙදෙනාට ධරණීගෙන් සුබපැතුම්!
විශේෂ ස්තූතිය – ගුවන් හමුදා මාධ්‍ය අධ්යක්ෂතුමා ඇතුළු ගුවන් හමුදා මාධ්‍ය ඒකකය
රුවන් එස්.සෙනවිරත්න
ඡායාරූප – චමත් ඒකනායක
පසුතලය – රත්මලාන ගුවන් හමුදා කඳවුර