විශේෂාංග

ගෙදරදි වැඩකාරයා වෙලා ලෝකෙට පේන්න විතරක් හස්බන්ඩ් වෙන්න මට බෑ

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

උපුල් මා හමුවීමට පැමිණියේ ඔහුගේ බිරිඳ වන අයෝමා ද සමඟය. විවාහ වී දැනට අවුරුද්දක් පමණ ගත වී ඇති බවත් නිවසින් ගෙන ආ මංගල යෝජනාවකට අනුව අයෝමාව විවාහ කරගත් බවත් උපුල් පැවසීය.

ඔහු ආර්ථික වශයෙන් එතරම් ස්ථාවර නොවූ පවුලක තරුණයෙක් වුවත් හොඳින් උගෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයද ලබා පසුව රජයේ පාසලක ගුරුවරයෙකු ලෙස කටයුතු කළේය. යමක් කමක් ඇති පවුලක එකම දියණිය වූ අයෝමා උපුල්ට වඩා ඉහළ වැටුපක් ලබන සහ ඉතා උසස් නිලයක් දරන රාජ්‍ය සේවිකාවකි. විවාහයෙන් පසු ඔවුන් ජීවත් වූයේ අයෝමාට අයිති තෙමහල් නිවසේ බව ඔහු කියයි.

උපුල් පැවසූ කරුණු කාරණා එතෙක් වෙලා නිහඬව අසා සිටි මම ඔවුන්ගේ පැමිණීමට හේතුව කුමක්දැයි ඔහුගෙන්ම විමසා සිටියෙමි.

“මෙයා ඉන්න තැන මට කතා කරන්න බැහැ. මට මිස් එක්ක තනියම කතා කරන්න පුළුවන්ද?

උපුල්ගේ හඬ බයාදුය. ගුරුවරයෙකු වූ නිසාදෝ ඔහු ඉතා සන්සුන් ගති ඇති නිවුණු පුද්ගලයෙකු බව මට හැඟුනි. උපුල් සමග තනිව කතා කිරීමට අවශ්‍ය බව පවසා අයෝමාට කාර්යාල කාමරයෙන් මඳකට පිටවන ලෙස මම පැවසුවෙමි.

උපුල් දෙස නෙත් කොනින් බැලූ අයෝමා කාමරයෙන් පිටව ගියේ කෝපයෙනි.

තත්පර කිහිපයක් නිහඬ කල්පනා සයුරක ගිලුණු උපුල් ඔහුගේ හඬ අවදි කළේ බලාපොරොත්තු විරහිත වේදනාත්මක ස්වරයෙනි.

“මට මෙයා එක්ක ජීවත් වෙන්න බැහැ. අනේ මොකක් හරි කරලා මාව මේ මරඋගුලෙන් බේරලා දෙන්න.

උපුල්ට සිතු සේ කතා කිරීමට ඉඩදී නිහඬවම සිටීමට මම තීරණය කළෙමි.

අයෝමා විවාහ වූ දිනයේ සිටම ඇගේ රැකියාව ගැනත්, මිල මුදල් දේපල ගැනත් කයිවාරු ගසමින් උපුල්ව නිතර පහතට හෙලා කතා කරනා බව ඔහු කියයි.

“පොඩ්ඩ එහෙට මෙහෙට වෙන්න බැහැ යක්ෂණියක් වගේ මගේ ඇට කඩාගෙන පනිනවා. හැමවෙලාවෙම උඹ ඉන්නේ මගේ ගෙදර, ඒ නිසා මට ඕනේ විදිහට හිටපන්, නැත්නම් පලයන් කියලා කියනවා. සමාජෙට මාව හස්බන්ඩ් විදිහට පෙන්නුවට ඒ ගෙදර මාව තියාගෙන ඉන්නේ එයාගේ වැඩකාරයෙක් වගෙයි.

උපුල්ගේ දෙනෙත් තුළින් කඳුළු කැට කඩාවැටීමට ආසන්න වුවත් පිරිමිකමට හානියක් වේ යැයි සිතු හෙයින්දෝ ඔහු ඉක්මනින් ඒවා මට නොපෙනෙන්නට සඟවා ගත්තේය.

අයෝමා නිවසේ වැඩපල සියල්ලම උපුල්ට පවරා තිබූ අතර, නිවසේ කටයුතුවලදී සිදුවන කුඩා අතපසුවීම්වලදී පවා ඔහුට දරුණු වාග් ප්‍රහාර එල්ල කිරීම ඇයගේ සිරිත වී තිබුණි. උපුල් සමග කායික සබඳතා පැවැත්වීමටද ඇය කැමැත්තක් දක්වා නොතිබුණු නිසා මාස අටක පමණ කාලයක සිට ඇය සමඟ එවැනි සබඳතාවයක් පවත්වා නැති බවත් ඔහු කීවේය.

“ඇඳේදි වැරදිලා හරි අතක්, පයක් වැදුනොත් වනචර මිනිහා කියලා මට බණිනවා. මගේ ගෙදර ඉන්න එපා කියලා නිතරම මාව එලවනවා. ඒ නිසා මම දැන් විසි වතාවකට වඩා ඒ ගෙදරින් ගියා. පස්සේ එයාම පොලිසියට ගිහින් මගේ ගැන කම්ප්ලේන් කරනවා. ඊටපස්සේ පොලිසියෙනුත් මට බැනලා ආයෙත් ගෙදර යන්න කියනවා. අනික හැමවෙලේම මට හින මිනිහා හින මිනිහා කියලත් බණිනවා. මනුස්සයෙක්ට මේවා තවත් ඉවසන්න පුළුවන්ද?

අයෝමා සමඟත් ගැටළුව පිළිබඳව සාකච්ඡා කිරීමට අවශ්‍ය නිසා මම ඇයව කාර්යාල කාමරයට නැවත කැඳවීමි.

“මගේ වැරදි ඔක්කොම කිව්වද? මම දන්නවා මගෙන් දික්කසාදේ ඉල්ලන්න නේද හදන්නේ? ඒක නම් ලේසියෙන් කරගන්න ලැබෙන එකක් නැහැ. මෙයාගෙන් දික්කසාද වෙලා මම පාරේ බැහැලා යන්නේ කොහොමද?

අයෝමාගේ කතාබහට අනුව ඇය විවාහ වී ඇත්තේ සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමේ අරමුණින් නොව සමාජ සම්මතයන්ට අනුව විවාහයක් අත්‍යවශ්‍ය යැයි සිතූ නිසා බැව් පැහැදිලිය.

අයෝමාගේ අසාමාන්‍ය ගති සොබාවය උපදේශන වාර ගණනකින් යථා තත්ත්වයට පත් කරලීමට මම අපොහොසත් වීමි. නමුත් උපදේශන සහ යම් යම් චිකිත්සක වාර කිහිපයකින්ම ඇයව ආදරණීය බිරිඳක් බවට පත් කිරීමට හැකිවීම ගැන මට දැනුණේ සතුටකි.

තනතුරු, මිල මුදල් නිසා හිස උදුම්මවාගත්, තම සහකරුවාව පහත්කොට සලකන මෙවැනි බිරින්දෑවරුන් මෙන්ම ස්වාමිපුරුෂයින්ද මගේ වෘත්තීය ජීවිතය තුළදී මට හමුවී ඇත. එකිනෙකා කෙරෙහි තිබිය යුතු ගෞරවය ගිලිහී ගිය ඒ බොහෝ ආදර කතාවල අවසානය සනිටුහන්ව තිබුණේ වෙන්වීම්වලින්ය.

යමෙක් කොතරම් උසස් තනතුරු දැරුවත්, ධනයෙන්, බලයෙන් සහ උගත්කමෙන් අගතැම්පත් වුවත් තවත් මනුෂ්‍යෙයකුට මනුෂ්‍යත්වයෙන් සැලකිය නොහැකි නම් ඒ සියලු දෙයෙහි වටිනාකමක් මම නොදකිමි. නිතරම තමා පමණක් උසස් යැයි සිතා අන්‍යයන් පහතට හෙලා කතා කිරීම පවුල් සංස්ථාව තුළදී පමණක් නොව සමස්ත සමාජය තුළදීත් අන්‍යන්ගේ පිළිකුලට පාත්‍ර වීමට හේතු විය හැකියි.

අයෝමාගේ කතාවෙන් මට මතු කරලිය යුතු කාරණාව වන්නේ සහකරුවාට සහකාරියට ආදරය මෙන්ම ගෞරවයද දැක්විය යුතු බවයි. ආදරය, විවාහ ජීවිතයේ කොඳු නාරටිය බව සැබෑය. නමුත් විවාහ ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ ආදරය සහ ගෞරවය එකින් එකට සංයෝජනය වන තැනය. ආදරය සහ ගෞරවය යන වචන පවා නිතරම එකට කියැවෙන්නේ ඒ නිසා විය යුතුය.

ඔබ ඔබගේ සහකරුවාට අගෞරව කරමින් පහතට හෙලා කතා කිරීම නිසා ඔහුගේ සිත කොතරම් වේදනාවට පත්වනවාදැයි තේරුම් ගැනීමටනම් එහි ප්‍රතිවිරුද්ධ පැත්ත ගැනද ඔබ සිහිකළ යුතුය. එසේම ඔබගේ මුවින් ඒ ක්ෂණයෙන් පිටවූ වචන පසුව ඔබට අමතක වුවත් අනෙකාට ඒ වචන නිසා දැනුනු හැඟීම් කෙදිනකවත් අමතක නොවීමටද ඉඩ ඇත.

ඔබ ඔබගේ සැමියාට ගෞරව කරනවිටදී තම ආදරණීය බිරිඳ තමාට වටිනාකමක් ලබාදෙන බව සැමියාට හැඟේ. එවිට ඔහුද පෙරළා ඔබට ගෞරව කරන අතර එකනෙකාට ගෞරව කරගන්නා අඹු-සැමියන් කොතරම් ගැටළුකාරී අවස්ථාවකදී වුවද ඔවුනොවුන්ව පහත් කරනා ආකාරයේ වචන භාවිත නොකරයි. එසේම ගෞරවනීය බැඳීමක් තුළදි එකිනෙකාගේ සිත් රිදවන දේ නොකිරීමටද ඔවුන් වග බලා ගනිති.

එවැනි පවුල්වල බොහෝ සැමියන් තම බිරිඳගේ සියලු රාජකාරි සඳහා සහාය ලබාදෙන අතර එයින් නිහඬවම ඔහු කියාපාන්නේ ඔහුගේ සිතේ තම බිරිය කෙරේ ඇති ගෞරවයයි. සැමියාගෙන් එලෙස ආදරයත්, ගෞරවයත් ලැබීමට බිරිඳක් දක්ෂ විය යුතු බව මම සිතමි.

පුහු ආඩම්බරකම් පසෙකලා එකිනෙකාට ගෞරව කිරීම, සැමියා හෝ බිරිඳ සමග සහජීවනයෙන්, ආදරණීය ලෙස ජීවත්වීමට හේතුවන බව වටහාගැනීම වැදගත්ය.

ගෞරවනීය බැඳීමක වටිනාකම පැහැදිලි කිරීමට අද මා උදාහරණයට ගත් උපුල් සහ අයෝමා ඉතා මෑතකදීත් මට හමුවූ අතර, එහිදී අයෝමා මා සමඟ පැවසුවේ දැන් ඔවුන් කුරුළු ජෝඩුවක් සේ සතුටින් කාලය ගතකරන බවය.