ගෝඨාභයගේ නඩුව ලබන 22දා සිට විභාගයට
මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 34 ක මුදලක් අවභාවිතා කර ඇති බව පවසමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුව ලබන 22 වනදා සිට විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (17) නියෝග කළා.
මෙම නඩුව අද පෙරවරුවේ සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.
එහිදී අධිකරණය මඟින් මීට පෙර නිකුත් කර තිබූ නොතීසියක් මත ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සභාපති ප්‍රශාන් ගුණවර්ධන මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.
එම සංස්ථාවේ සභාපතිවරයා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේ එම නඩුවට අදාළව විත්තිය විසින් ඉල්ලා සිටි සොයාගත නොහැකි වූ බව සඳහන් ලේඛනවලින් බොහොමයක් තමා විසින් පත් කරන ලද කමිටුවක් මඟින් සොයාගෙන ඇති බවයි.
ඒ අනුව අදාළ ප්‍රකාශය සටහන් කර ගත් අධිකරණය සභාපතිවරයා මුදා හැරීමටද නියම කළා.
මෙහිදී විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණයට දන්වා සිටියේ නඩු විභාගය ආරම්භ වීමට පෙර එම නඩුවට අදාළ මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.
රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සාක්ෂිකරුවන් 15 දෙනා අතරින් කිහිපදෙනෙකු නඩු විභාගය ආරම්භ වන කාලසීමාවට පෙර විදේශ ගත වීමේ සූදානමක් පවතින බව දැනුම් දුන්නා.
එසේ විදේශගත වූවොත් නඩු විභාගය පවත්වාගෙන යාමට බාධාවක් එල්ල වන බව සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා මේ හේතුවෙන් එසේ විදේශගත වන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙස අදාළ සාක්ෂි කරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලය නඩු විභාගය පැවැත්වෙන කාල සීමාවේ විදේශගත වන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙස අදාළ සාක්ෂි කරුවන්ට නියෝගයක් නිකුත් කරමින් කියා සිටියා.
අනතුරුව නඩු විභාගය ලබන 22 දා ආරම්භ කරන බවද අධිකරණය නියෝග කළා.
ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා.