News

ඝාතනය වු තරුණියගේ DNA වාර්තාව එළියට

කොළඹ, වේල්ල වීදිය‍, ප්‍රදේශයේ දී හමුවු හිස නොමැති තරුණියකගේ මළ සිරුරේ DNA සාම්පල, ඇයගේ මවගෙන් සහ සහෝදරයාගෙන් ලබාගත් DNA සාම්පල සමඟ ගැලපෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පසුගිය මාර්තු මස 1 වන දින එම තරුණියගේ මළ සිරුර සොයාගනු ලැබු අතර, එහි හිස නොමැති බැවින් විද්‍යානුකූල හඳුනාගැනීමක් සඳහා මෙලෙස DNA පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කෙරිණි.

එම DNA පරීක්ෂණය රජයේ අතිරේක රස පරීක්ෂක, ඩී.එච්.එල්.ඩබ් ජයමාන්න මහතා විසින් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම වාර්තාවේ, අදාළ තැනැත්තියගේ මවගේ සහ සහෝදරයාගේ DNA සාම්පල සමග ඝාතනය වු තරුණියගේ DNA සාම්පලය සැසදෙන බව සඳහන් ව ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ අනුව, ඝාතනයට ලක්ව ඇති තරුණිය කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණිය බවට සනාථ වී තිබේ.

මේ අතර තරුණිය ඝාතනය කළ උප පොලිස් පරීක්ෂකවරයා පිටෙහි එල්ලා ගෙන සිටි බවට සැක කෙරෙන බෑගය පුළුස්සා ඇති බවට අනාවරණ වී තිබෙන අතර පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවස ආසන්නයේදී අදාළ බෑගය පුළුස්සා ඇති බවයි.

කෙසේ වෙතත් ඝාතනයට ලක් වූ තරුණියගේ හිස මෙතෙක් සොයා ගැනිමට නොහැකිව තිබේ.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය අද (09) සිදුකිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.