News

චීනෙට වඩා ඇමසන් බලවත් වෙයි

ඇමසන් වෙබ් අඩවියෙන් ඉවත් කළේ යැයි චීන තානාපති කාර්යාලය පැවැසූ ශ්‍රී ලංකා ධජය සහිත භාණ්ඩ සම්බන්ධ වෙළෙඳ දැන්වීම් තවමත් එම වෙබ් අඩවියෙහි ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ පැවැසීය.

පසුගිය 13වනදා ශ්‍රී ලංකා ධජය ඇතුළත් පාපිසි දැන්වීම අදාළ චීන සමාගම විසින් ඉවත් කර ඇති අතර ධජය ඇතුළත් අනෙකුත් භාණ්ඩ දැන්වීම්ද ඉවත් කරන බව චීන තානාපති කාර්යාලය දන්වා ඇත.

නමුත් තවමත් ශ්‍රී ලංකා ධජය දැක්වෙන කාන්තා නාන ඇඳුම් කට්ටල, මුඛ ආවරණ සහ වෙනත් ඇඳුම් අදාළ වෙබ් අඩවිය තුළ අලෙවි වෙමින් පවතින බව ඔහු පෙන්වා දෙයි. මේ පිළිබඳ දැනුම් දිය යුත්තේ අදාළ විකිණීම් සිදුකරන චීන සමාගමට නොව ඇමසන් වෙබ් අඩවිය අයත් සමාගමට බව ඔහු පවසයි.

මෙරට ධජය අවභාවිත කරමින් විවිධ වූ භාණ්ඩ නුදුරු අනාගතයේදී තව තවත් මෙම වෙබ් අඩවියට ලැයිස්තුගත විය හැකි බැවින් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් ඇමසන් සමාගමට කරුණු දක්වා මෙරට කීර්ති නාමයට දීර්ඝ කාලීනව ඇතිවිය හැකි හානිය අවම කර ගැනීමට ශ්‍රී ලංකා රජය මැදිහත්වීමක් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය රජයෙන් ඉල්ලා සිටින බව සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

එරංදි කෞශල්‍යා