News

ජනතාවට පොලී ගෙවන්න බයේ විදුලි පනතේ වගන්තියක් හැලේ

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය ලබාගන්නා පාරිභෝගිකයන්, ඒ වෙනුවෙන් තබන ස්ථාවර තැන්පතුව සඳහා පොලියක් ගෙවිය යුතු බවට විදුලිබල පනතේ ඇති වගන්තිය ඉවත් කිරීමට විදුලිබල අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව වාර්තා වේ.

2009 අංක 29 දරන ලංකා විදුලිබල මණ්ඩල පනතේ 28(3) වගන්තිය අනුව අැප මුදලක් තැබිය යුතු බවට වූ වගන්තිය ඉවත් කිරීමට 2018 අගෝස්තු 17 වැනි දින නිකුත් කළ විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වේ. එහි 5.2 ඡේදයේ ඒ බව පැහැදිලිව සඳහන් කර ඇති අතර ඉන් ඇප මුදල් ලබා ගැනීම යන කාරණය ඉවත් කර නොමැත.

මේ පිළිබඳ මුලින්ම පසුගිය පෙබරවාරි 19 වැනිදා ඉරිදා ‘‘සති අග අරුණ’’ පුවත්පතේ ප්‍රධාන ශීර්ෂයෙන් හෙළි කළේ ‘ලංවිමෙන් පාරිභෝගිකයාට කෝටි දෙසීයක පොල්ලක්’ යනුවෙනි. මේ සම්බන්ධයෙන් පසුව විදුලිබල අමාත්‍ය රවි කරුණානායකගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ මසක් ඇතුළත විදුලි පාරිභෝගිකයන්ට සුබදායී පණිවුඩයක් ලබාදෙන බවයි.

කෙසේ වෙතත් එම පනතෙන් පොලී ගෙවීමේ වගන්තිය ඉවත් කිරීමට මහජන උපයෝගිතා කොමිසමද, විදුලිබල මණ්ඩලයට විරෝධය පළකර ඇති බව එහි උසස් නිලධාරියකු පැවසීය.

මෙම තත්ත්වය මත එම යෝජනාවට අනුමැතිය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

චමින්ද සේනාරත්න