News

ජනපතිටත් උඩින් ගිහින් පොලිසිය හිතවතුන්ට සම්මාන පුදයි

මත්ද්‍රව්‍ය නිරාවරණ හා අපරාධ මැඬලීමට සම්බන්ධ පොලිස් නිලධාරින්ට ජනාධිපති සම්මාන හා ප්‍රශංසා ලබා දීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සංකල්පය උල්ලංඝනය කරමින් පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ හිතවතුන්ට සහ ගෝලයන්ට එම සම්මාන ලබා දී ඇති බව වාර්තා වේ.

මත්ද්‍රව්‍ය මැඬලීම්වලට කිසිවකට සම්බන්ධ නොවූවන්ට පදක්කම් ලබා දී ඇති අතර එම ක්‍රියාවන්ට සම්බන්ධ වූ නිලධාරින්ට පදක්කම් ලබා දී නොමැත.

2015 ජනවාරි 14 වැනි දින සිට 2019 ජනවාරි 14 වැනි දා දක්වා වූ කාලයේදී මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කළ පොලිස් නිලධාරින් 1034 දෙනකුට කාරණා තුනක් යටතේ ඇගයීම් සම්මාන පසුගිය 28 වැනි දින ප්‍රදානය කෙරිණි. ජනාධිපති පොලිස් වීරතා පදක්කම, පොලිස් දක්ෂතා පදක්කම හා ජනාධිපති ප්‍රශංසා පදක්කම එසේ පිරිනැමිණි.

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන වෙලේසුදා හා සිද්ධික් පාකිස්තානයේ සිට ගෙන ඒමට ක්‍රියා කළ නිලධාරින් කිසිවකුටද මෙසේ එම සම්මාන හිමි නොවීය. ඊට අමතරව දෙහිවල ප්‍රදේශයේ දී බංග්ලාදේශ කාන්තාවක් සතුව තිබූ මත්කුඩු කිලෝ ගණනක් සමග අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයාද ඇතුළු නිලධාරින්ටද එම සම්මාන හිමිව නොමැත.

එහෙත් උසස් පොලිස් නිලධාරියකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුට හා සහකාර පොලිස් අධිකාරිවරයකුට එම සම්මාන හිමිවූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් සෙසු පොලිස් නිලධාරීහු ප්‍රශ්න කර සිටිති.

සුගන්ධි බස්නායක