ජනපති මෛත්‍රි දේශපාලන අනාථයෙක්
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ‘‘දේශපාලන අනාථයෙක්’’ බවට පත්ව ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.
සිවිල් සංවිධාන නියෝජිතයන් තිඹිරිගස්යාය ප්‍රජාව කාර්යාලයේ පෙරේදා (13 වැනිදා) පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයේ විනාශයට පත්ව තිබෙනවා. ඒ අවස්ථාවාදී දේශපාලනය හේතුවෙනි. ජනාධිපතිවරයා දේශපාලන අනාථයෙක් බවට පත්ව තිබෙනවා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් කිරීමට කටයුතු කළ, උදව් කළ අයත් ජනාධිපතිවරයා අමතක කර තිබෙනවා.
2015 ජනාධිපතිවරණයට අපි ඉදිරිපත් වුණේ තර්ජන සහ මර්දන මධ්‍යයේයි. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසුබෑමක් දක්නට ලැබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම ඡන්ද ප්‍රතිශතය වැඩි කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වුවත්, ගම් මට්ටමේ පාක්ෂිකයන් ඊට විරෝධය පළකරන බව ඡන්ද ප්‍රතිඵලවලින් පැහැදිලි වෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීමට සහයෝගය ලබාදෙනවා. ඔවුන් ලබන සතියේ සිට මැතිවරණ ව්‍යාපාරයට සක්‍රිය ලෙස දායක වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් 300ක් පමණ සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදීමට අපි සමග සාකච්ඡා කර තිබෙනවා. පවුල් දේශපාලනයට එරෙහිවයි අපි කටයුතු කරන්නේ. අපේ රජය තුළ වැරදි තිබුණා. රාජපක්ෂවරුන්ගේ දූෂණ පිළිබඳව වග විභාගයක් නොකිරීම ලොකුම වරදයි, යැයි සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මෙහිදී පැවැසීය.
මෙම අවස්ථාවට පූජ්‍ය දඹර අමිල හිමි, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, සමන් රත්නප්‍රිය, රවි කුමුදේශ් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.
උදයජීව ඒකනායක
