News

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් කෙරෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළට

2015 ජනවාරී සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ සහ වංචා සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් කෙරෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවට වාර්තා වෙයි.

මෙම කොමිෂන් සභාවේ පැමිණිලි ලබාගැනීමේ කාලය අවසන් වීමට තිබුණේ ඉකුත් 7 වනදා පස්වරු 5 ටයි. කෙසේ වෙතත් එය මාර්තු 14 වන දින පස්වරු 5 දක්වා දීර්ඝ කිරීමට මීට පෙර තීරණය කෙරුණු අතර කොමිසම වෙත පැමිණිලි ලබාදීම ඉහළ යාම හේතුවෙන් එම කාලය මාර්තු 19 වනදා පස්වරු 5 දක්වා දීර්ඝ කිරීමට එම කොමිසම තීරණය කරයි.

කොමිසම වෙත මේ දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 847 ක්. ඒ අතරින් ඉකුත් 7 වනදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ පමණක් පැමිණිලි 435 ක් කොමිසම වෙත ලැබී ඇති බව වාර්තා වෙයි.

ඒ අතරින් පැමිණිලි 370 ක් සළකා බැලීම මේ වනවිට ආරම්භ කර ඇති අතර කොමිෂන් සභාවට අනුයුක්ත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් පැමිණිලි සංඛ්‍යාව 18 ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.