News

ජාතික ආණ්ඩුවේ සිටි මැති ඇමතිවරු නිල වාහන හා නිල නිවාස තවමත් රජයට භාරදී නැහැ

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට එක්වුවද ජාතික ආණ්ඩුවේ ඇමතිවරුන් ලෙස කටයුතු කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් තම නිල නිවාස හා වාහන මෙතෙක් රජයට භාරදී නොමැති බව වාර්තාවේ.

එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව පිහිටුවා අදට මාසයක කාලයක් ගතවී තිබුනත් මීට පෙර පැවැති ආණ්ඩුවේ කැබිනට්, නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරුන් ලෙස කටයුතු කරමින් නිල නිවාස ලබාගෙන සිටි ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් වුවද සිය නිල නිවාස මෙතෙක් රජයට භාරදී නොමැත.

එමෙන්ම අමාත්‍යාංශ වාහන භාරදී නොමැති බව වාර්තා වන අතර නිල නිවාස හා වාහන භාරනොදීම හේතුවෙන් අලුතින් දිවුරුම් දුන් අමාත්‍යවරුන්ට නිල නිවාස සහ අමාත්‍යාංශ වාහන ලබාදීමේදී ආණ්ඩුව අපහසුතාවට පත්ව ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.