ජාතික රූපවාහිනී බලධාරීන් වෘත්තීය සමිති නායකයින් දඩයමට සැරසේ
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තුළ සිදුවන දූෂණ සහ අක්රමිකතාවලට එරෙහිව මේ වනවිට කටයුතු කරමින් සිටින වෘත්තීය සමිති නායකයින් දඩයම් කිරීම සදහා පාලනාධිකාරිය පිඹුරුපත් සකස් කරමින් සිටින බව ඉතා විස්වාසකටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වේ.
ප්‍රධාන කරුණු 06 ක් මුල් කර ගෙන මේ වන විට ජාතික රූපවාහිනියේ වෘත්තීය සමිති එකමුතුව විසින් සිය සේවකයින් දැනුවත් කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාවලියකට අවතිර්ණ වි සිටී.පසුගිය සතියේ මෙම දැනුවත් කිරීමට අදාලව අත්පත්‍රිකාවක් සංස්ථා සේවකයින් වෙත බෙදා හැරීමට එහි සියළුම වෘත්තීය සමිති එක්ව පිහිටුවා ගෙන ඇති වෘත්තීය සමිති එකමුතුව විසින් පියවර ගත් බව ද වාර්තා විය. ඉන් කුපිත වු සභාපතිවරිය සහ අධ්යක්ෂ ජනරාල්වරයා එම වෘත්තීය සමිති ව්‍යාපාරය සදහා නායකත්වය ලබා දෙන වෘත්තීය සමිති නායකයින් නිහඬ කිරීම සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් සිටින බව රූපවාහිනී සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
අනුමත කාර්ය මණ්ඩලය තුළ අධ්යක්ෂ (අලෙවි) තනතුරක් තිබියදී කොන්ත්‍රාත් පදනමින් එකී තනතුර සදහා පුද්ගලයෙකු බදවා ගැනීම මුළුමනින්ම නීතී විරෝධි බව පවසමින් විගණකාධිපති විසින් 2018.08.15 වන දින නිකුත් කර ඇති විගණන පරික්ෂාවකට අදාල වාර්තාව අනුව එකී පුද්ගලයා ඉවත් කරන ලෙස වෘත්තීය සමිති විසින් දිගින් දිගටම ඉල්ලා තිබිණ. මෙම පුද්ගලයාට රුපියල් 350,000 ට ආසන්න මුදලක් මේ වන විට මාසිකව ගෙවමින් තිබේ.
නමුත් විගණකාධිපතිවරයා විසින් පෙන්වා දෙන්නේ මෙම පුද්ගලයාට සිදු කරන සියළු ගෙවීම් මෙන්ම අදාල පත්කිරීමත් නීති විරෝධි බවයි. විගණකාධිපති වාර්තාව පෙන්වා දෙන්නේ මෙවැනි විශාල ගෙවීමක් සිදු කිරීම සදහා මුදල් අමාත්‍යාංශයේ කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ විශේෂ අනුමැතිය ලබා ගත යුතු වුවත් එවැනි කිසිදු අනුමැතියක් පාලනාධිකාරිය විසින් ලබා ගෙන නොමැති බවයි.
ඒ අනුව අදාල පත්වීම මුළුමනින්ම නීති විරෝධි වේ. එමෙන්ම අදාල පුද්ගලයා ආතනයේ අලෙවි ඉලක්ක කරා ලගා කර ගැනීමට අසමත් වු අයෙකු බවත් විගණකාධිපති වාර්තාව පෙන්වාදෙයි. තත්වය එසේ තිබියදී විගණකාධිපති වාර්තාවට පිටුපා අධ්යක්ෂ ජනරාල් සාරංග විජයරත්න නැමැත්තා විසින් මෙම පුද්ගලයාට නැවතත් වසරක සේවා දිගුවක් 2018.12.20 වන දින ලබා දී ඇත. අධ්යක්ෂ මණ්ඩල අනුමැතියට යටත්ව යැයි පවසමින් ලබා දී ඇති මෙම සේවා දිගුව තත්වය තවත් උත්සන්න කර ඇති බව මේ පිළිබඳව අදහස් දක්වමින් විගණකාධිපති කාර්යාලයේ නිලධාරියෙකු අප සමඟ පැවසීය.
එමෙන්ම මෙලෙස රාජ්‍ය සම්පත් අවපරිහරණය කරන දූෂිත නිළධාරීන්ට එරෙහිව නව විගණන පනත මගින් අධිභාර පනවා අදාල මූල්‍ය හානි ඊට සම්බන්ධ සියළු නිළධාරීන්ගෙන් අයකර ගැනීමට කටයුතු කරන බව ද ඔහු අවධාරණය කළේය. එමෙන්ම රූපවාහිනී සංස්ථාව සදහා තවමත් අධ්යක්ෂ මණ්ඩලයක් පත් කර නොමැති පසු බිමක මෙවැනි අත්තනෝමතික පත් කිරීම් සිදු කිරීම බලවත් දූෂණයක් සහ අක්‍රමිකතාවයක් බවට සේවකයින් ද චෝදනා කරයි.
මේ ආකාරයට සංස්ථාව තුළ සිදු කරමින් තිබෙන බරපතල දූෂණ සහ අක්රමිකතාවලට එරෙහිව කටයුතු කරන වෘත්තීය සමිති නායකයින් ඉලක්ක කර ඔවුන් නිහඩ කිරීම සදහා මේ වන විට සභාපතිවරිය සහ අධ්යක්ෂ ජනරාල් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වේ. විගණකාධිපති විසින් පෙන්වා දී ඇති දූෂණ සහ අක්‍රමිකතා ඉවත් කිරීම වෙනුවට අදාල වාර්තා ගණනකට නොගෙන කටයුතු කිරීම බරපතල තත්වයක් බවයි සේවකයින් පෙන්වාදෙයි.
මේ වන විට විගණකාධිපතිගේ වාර්තා සහ නියෝග නොසළකා කටයුතු කරන රාජ්‍යය ආයතන ප්‍රධානීන්ට එරෙහිව තදින් කටයුතු කරන බවට ජනාධිපතිවරයා විසින් අවධාරණය කර ඇති පසුබිමක මෙලෙස රූපවාහිනී සංස්ථා බලධාරීන් කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ නියෝග පවා නොසළකා කටයුතු කිරීමක් බවයි වෘත්තීය සමිති චෝදනා කර සිටියි.
තමන් විසින් පෙන්වා දී ඇති කරුණු විසදීමට පාලනාධිකාරිය කටයුතු නොකරන්නේනම් ඊලග පියවර ලෙස අල්ලස් හෝ වංචා දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව වෙතත්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව වෙතත් මේ පිළිබදව පැමිණිළි කිරීමට තීරණය කර ඇති බව රූපවාහිනී සංස්ථා වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකයෙකු අප සමග පැවසීය. එමෙන්ම දූෂිත ක්‍රියා වැළැක්වීම වෙනුවට වෘත්තීය සමිති නායකයින් උපක්රමික ලෙස දඩයම් කිරීමට සැරසෙන්නේ නම් මේ රටේ පොදු මහජනතාව සමග එක්ව දූෂිතයින්ගෙන් ජාතික රූපවාහිනිය රැක ගැනීම සදහා ඉදිරියේදී කටයුතු කරන බව ද ඔහු අවධාරණය කළේය.
මේ අතර සංස්ථාවේ පෙබරවාරි මාසයේ සේවක වැටුප් ගෙවීම සහ අනෙකුත් වියදම් සදහා පමණක් රුපියල් මිලියන 200 ක මුදලක් අවශ්‍ය වන බව වාර්තා වේ. නමුත් අදාල මුදල සොයාගැනීම සදහා කිසිදු වැඩ පිළිවෙළක් බළධාරීන්ට නොමැති බවට සේවකයින් චෝදනා කර සිටියි. එමෙන්ම වාර්ෂිකව සේවකයින් වෙත ලබා දෙන සෞඛ්‍ය රක්ෂණයට අදාල වාරික මුදල් ද 2019 වසරට අදාලව මේ වන තෙක් ගෙවා නොමැති අතර එලෙස ගෙවීමට ඇති මුදල රුපියල් මිලියන 40 කට ආසන්න බවයි වාර්තා වේ. එමෙන්ම මේ වන විට ලංකා බැංකුව වෙත ගෙවීමට ඇති ණය මුදල රුපියල් මිලියන 200 ඉක්මවන බවත් වාර්තා වේ. පසුගිය මාසයේදී මෙම ආයතනයේ වැටුප් ගෙවනු ලැබුවේ ස්ථාවර ගිණුමේ මුදල් භාවිතා කරමින් වන අතර තවදුරටත් ස්ථාවර ගිණුමෙන් මුදල් ඉවත් කර ගැනීමට මේ වන විට හැකියාවක් නොමැතිවී ඇතැයි වාර්තා වේ.