News

එජාපයේ මහ මැතිවරණ සටන මෙහෙයවීම ක්‍රියාකාරී නායකයකුට

ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීම සඳහා ක්‍රියාකාරී නායකයකු පත් කිරීම කෙරෙහි නායකත්වයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ඒ සඳහා වත්මන් කථානායක කරු ජයසූරියගේ නම යෝජනා වී ඇති බව සඳහන් වේ. විපක්ෂ නායක තනතුර සමග පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබාදෙන ලෙසට ඉල්ලා සිටියද එජාප ව්‍යවස්ථාව අනුව නායකත්වයට පත්වන තැනැත්තාට එම ධුරයේ වසර පහක් කටයුතු කිරීමට හැකිවේ. ඒ අනුව වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ලබන 2023 වන වසර දක්වා නායකත්වයේ කටයුතු කිරීමට අවස්ථාව තිබේ.

සජිත් ප්‍රේමදාස එජාපයේ නායකත්වය ඉල්ලුවත් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා වෙනත් පක්ෂයක් සමග සාකච්ඡා කර ඇති බවට රනිල් වික්‍රමසිංහට හෙළිවී ඇත. එසේ සජිත් ප්‍රේමදාස සාකච්ඡා කර ඇති පක්ෂයේ ලේකම්වරයා කැඳවා ඇති රනිල් වික්‍රමසිංහ පසුව එම අවස්ථාවට පක්ෂයේ තවත් කනිෂ්ඨයන් කිහිප දෙනකු කැඳවා තිබේ. එහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වය ඉල්ලන අය වෙනත් පක්ෂයකින් ඡන්දය ඉල්ලන්න හදන හැටි තේරෙනවා නේද’’ යනුවෙන් එහි සිටි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට පවසා ඇත.

චමින්ද සේනාරත්න