Top Story

ඥානසාර හිමිගේ අභියාචනයට අවසර දෙනවාදැයි සලකා බැලීම 31දා

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම වී තිබෙන වසර හයක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා අවසර දෙන්නැයි විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කර ඇති ඉල්ලීම ලබන සිකුරාදා (31) සලකා බැලීමට අභියාචනාධිකරණය අද 29 තීන්දු කළේය.

මෙම ඉල්ලීම අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා කරුණු දක්වමින් මෙම නඩු තීන්දුවට අදාලව මතුවී තිබෙන නීතිමය ගැටළු තුනක් පිළිබඳව තමන් කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව කියා සිටියේය.

එම කරුණු තුන ලිඛිතව සූදානම් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් අද දින තුළ මෝසමක් මාර්ගයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

ඒ අනුව අදාළ ඉල්ලීම සලකා බැලීම ලබන තිස් එක්වනදා සිදුකරන බව සඳහන් කළ අභියාචනාධිකරණය එදිනට ඊට අදාළව කරුණු දක්වන්නැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතාටද නියම කළේය.

විත්තිය වෙනුවෙන් වගඋත්තරකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය. මෙම නඩු විභාගයේදී ඥානසාර හිමියන් සාක්ෂි දෙමින් කියා තිබුණේ මෙම සිද්ධිය හරහා අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තමන් වහන්සේ තුළ නොතිබූ බවයි.

රට බේරා ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරින්ට ඇප ප්‍රතික්ෂේප වී  රිමාන්ඩ් භාරයට පත්වන අවස්ථාවේදී ඒ පිළිබඳව සංවේදී වීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවත් ඒ හරහා තමන් වහන්සේ අධිකරණයට කිසිදු අපහාසයක් සිදු නොකළ බවත් නඩු විභාගයේ සාක්ෂි දෙමින් ඥානසාර හිමියන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඉකුත් 8 වනදා බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එය වසර හයකින් ගෙවිය යුතු බව නියම කර තිබුණි.