‘ඥානසාර හිමියන්’ යනු සිංහ රජෙක් ද? බළල් අතක් ද?
සය අවුරුද්දකින් ගෙවී යන පරිදි දහනව අවුරුද්දක සිර දඬුවමකට යටත් කරනු ලැබ සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට පෙබරවාරි 4 වැනිදා නිදහස් දිනයට සමගාමීව ජනාධිපතිවරයා විසින් නිදහස ලබා දෙනු ඇතැ’යි ආරංචියක් පැතිර ගියත්, එය එසේ නොවිණි.
එක්තරා පාර්ශ්වයකට ‘වීරයෙකු’ ලෙස පෙනෙන සහ තවත් පාර්ශ්වයකට ‘ද්‍රෝහියෙකු’ ලෙස පෙනෙන ‘ඥානසාර හිමියන්’ වැනි ‘කැරලිකාරී භික්ෂුවක්’ බිහිවන ආකාරයත්, උන්වහන්සේගේ ‘ක්‍රියාකලාපය’ මෙරට ‘ජාතිකවාදී සමාජ දේශපාලන ව්‍යාපාර’ කෙරෙහි බලපාන ආකාරයත් තේරුම් ගැනීම උනන්දු සහගත ය.
උන්වහන්සේ පැවතගෙන එන්නේ ඇල්පිටියේ ‘ගලගොඩඅත්තේ’ නමැති ගමෙනි. 1975 මාර්තු 4 වැනිදා සහෝදර සහෝදරියන් පස් දෙනකුගෙන් යුතු පවුලක ළාබාලතම දරුවා ලෙස උපත ලබන ‘ඥානසාර හිමියන්ගේ’ ගිහි නම නුවන්සිරි කුමාර ය. උන්වහන්සේ ගිහි කල අධ්‍යාපනය ලබන්නේ යක්කටුව කනිෂ්ඨ විද්‍යාලයෙනි. ඉන්පසුව ‘ගලගොඩඅත්තේ ඥානසාර’ යන නමින් පැවිද්ද ලබන්නේ වයස අවුරුදු 11 දී පමණ ය. සාමණේර දිවිය අවසාන කරමින් පසුකලෙක පැවිදි උපසම්පදාව ලබන ඥානසාර හිමියන් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධිය ලබන අතර ඉන්පසුව රාජකීය පණ්ඩිත ගෞරව උපාධිය ද ලබාගෙන තිබේ.
තරුණ ඥානසාර හිමියන් මුල්වරට ශාසනික කටයුතුවල ප්‍රසිද්ධ සහ ක්‍රියාකාරී චරිතයක් බවට පත්වන්නේ 1994 දී ඇරඹුණු ජාතික සංඝ සම්මේලනයේ ආරම්භක ලේකම්වරයා වශයෙන් කටයුතු කිරීම නිසා ය. ජාතික සංඝ සම්මේලනයේ ආරම්භක සභාපතිවරයා වූයේ පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි ය. පසුකලෙක එල්ලාවල මේධානන්ද හිමියන් ද සමග ‘ජාතික හෙළ උරුමය’ ට සම්බන්ධ වන ඥානසාර හිමියන් එම පක්ෂයේ අපේක්ෂකයකු ලෙස 2004 පාර්ලිමේන්තු මහ මැතිවරණයට ද ඉදිරිපත් වී තිබේ. එකල පාඨලී චම්පික රණවක ද ඔහුගේ කුළුපග මිතුරෙකුව සිට ඇති අතර පසු කලෙක හෙළ උරුමයෙන් බිඳී ගිය ඥානසාර හිමියන් නිතර ‘සිරිකොතට’ යන එන ‘එ.ජා.ප. හිතවාදී හිමි නමක්’ ව සිට ඇත. එකල එ.ජා.ප. නායකයින්ගේ ආරාධනාවෙන් එක්සත් ජාතික පක්ෂයේ භික්ෂු බලවේගය වන ‘එක්සත් භික්ෂු පෙරමුණ’ට නායකත්වය දෙන්නට ද ‘සැදී පැහැදී’ තිබේ.
එහෙත් එහිදී ඥානසාර හිමියන් විසින් එක්සත් ජාතික පක්ෂ නායකයින්ට අපූරු කොන්දේසියක් ඉදිරිපත් කර තිබුණි. ‘‘මට එක්සත් භික්ෂු පෙරමුණ සංවිධානය කරන්න පුළුවන්. ඒත් එක කොන්දේසියක් උඩ. එක්සත් භික්ෂු පෙරමුණේ පැවිදි නියෝජිතයින් සංඛ්‍යාවකට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්ව කෝටාවක් දිය යුතු යි’’ යනුවෙනි. එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු එ.ජා.ප.යේ ප්‍රබලයින් ඊට විරුද්ධ වීම හේතුකොටගෙන ඥානසාර හිමියන් එ.ජා.ප.ය සමග පැවැති සම්බන්ධතා අවසන් කර තිබේ.
‘‘මම කතරගම වන්දනාවේ ගිය වෙලාවක අෂ්ඨඵල බෝධිය ළඟදී පුදුමාකාර මධුර කටහඬකින් පැවැත්වෙන බෝධිපූජාවක් ඇහුණා. ඒ සැරේ මමත් ඒ පූජාවට වාඩි වුණා. උනන්දුවෙන් බලනකොටයි මම දැක්කේ, එදා ඒ පුජාව පවත්වමින් හිටියේ සිරිකොතේදිත් නිතර හමුවී තිබුණු ඥානසාර හාමුදුරුවො. මම උන්වහන්සේ ළඟට ගිහින් මෙහෙම කිව්වා, ‘හාමුදුරුවනේ දේශපාලනේට වඩා ඔබ වහන්සේට ගැළපෙන්නෙ මේ වැඩේ…’ කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ ඒක ගණන් ගත්තෙ නෑ. හිනා වුණා විතරයි’’ යනුවෙන් පවසන්නේ එකල එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්ව සිටි තිස්ස අත්තනායක මහතා ය.
ආගමික අන්තවාදීන්ට, දේශපාලකයින්ට, පොලිසියේ ඇතුළු වෙනත් රජයේ නිලධාරීන්ට ‘සුද්ද සිංහලෙන් අමතන’ උන්වහන්සේගේ ඉතාම ‘කුප්‍රකට වීඩියෝ පට’ අතර අන්තර් ජාලයේ අස්සක මුල්ලක සැඟවී තිබෙන ඉතාම ‘අප්‍රකට වීඩියෝ පටයකින්’ දෙකකින් ‘සුමධුර හඬින්’ බෝධි පූජා පවත්වන උන්වහන්සේ ව අද ද දැකගත හැකිය.
‘‘යන අතක් නොම දැන ක්ලේශ වසඟයට හසු වූ මගේ ජීවිතය
බුදු රජාණන් වහන්සේ ට පූජා වේවා…
හිස් වචන දොඩමින් අයාලේ ගිය මගේ සිතුවිලි
මේ මොහොතේ පටන් හරි මගට ගෙන එමි…’’
එය නම් මේ රටේ එක්තරා පාර්ශවයකට ‘වීරයෙකු’ ලෙස පෙනෙන සහ තවත් පාර්ශ්වයකට ‘ද්‍රෝහියෙකු’ ලෙස පෙනෙන ‘ඥානසාර හිමියන් පිළිබඳ තවත් එක් ‘පැරඩොක්සයකි.’
කෙසේ වෙතත් වර්තමානයේ අපට හමුවන ඥානසාර හිමියන් තමන් වහන්සේ විසින් නායකත්වය දෙමින් සිටින ‘බොදුබල සේනා’ සංවිධානය (එය ආරම්භ කිරීමේ අරමුණු කුමක් වුවත්) ද පෙරටුව සක්‍රිය ලෙස අරගල කරමින් සිටින්නේ, මෙරට ක්‍රියාත්මක වෙමින් තිබෙන ‘මුස්ලිම් අන්තවාදයට’ එරෙහිව යි.
මේ අතර ඥානසාර හිමියන් මෙන් ‘කැරලිකාරී’ නොවන සහ සාම්ප්‍රදායික බෞද්ධ භික්ෂූන් ලෙස ම වැඩවසන මහනායක හිමිවරුන් විසින් ‘ඥානසාර හිමියන්’ පිළිබඳ පළ කරන ‘එක්තරා පොදු මතයක්’ තිබේ. එනම් ‘වරද ඇත්තේ ඥානසාර හිමියන් පවසන දෙයෙහි නොව, පවසන විදියෙහි’ යන්නයි. අපවත්වී වදාළ බෙල්ලන්විල ඥානරතන හිමියන් ද මේ බව ප්‍රසිද්ධියේ ම පවසා තිබිණි. ඉන් අදහස් වන්නේ, බොහෝ විට ඥානසාර හිමියන්ගේ ප්‍රචණ්ඩ හැසිරීම්වලට හේතු සාධක වන ‘ඉස්ලාම් ආගමික අන්තවාදයක්’ මේ රට තුළ සැබෑවටම ක්‍රියාත්මක වන බව ය.
ඇත්තෙන්ම ශ්‍රී ලංකාව තුළ බෞද්ධාගමටත්, ශාසනයටත් එරෙහි වූ මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව මුල්වරට පවසන්නේ ඥානසාර හිමියන් නොවේ. ඊටත් කලින් ඒ ගැන ප්‍රසිද්ධියේ අදහස් දැක්වූ ගංගොඩවිල සෝම හිමියන් ද නොවේ.
ඇත්තෙන් ම ඒ බව මුල් වරට සඳහන් වන්නේ, ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් 2002 දී පත් කළ ‘බුද්ධ ශාසනය පිළිබඳ ජනාධිපති කොමිසම’ මගිනි. එම කොමිසමේ සභාපතිත්වය හොබවන ලද්දේ බෙල්ලන ඥානවිමල මහනායක ස්ථවිරයන් වහන්සේ ය. ලේකම් වූයේ එස්. කාරියවසම් ය. වරකාවේ ධම්මාලෝක ස්ථවිර, කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්ථවිර, වැලමිටියාවේ කුසලධම්ම නායක ස්ථවිර, බලංගොඩ ප්‍රඥාවංශ අනුනායක ස්ථවිර යන නාහිමිවරුන් ද, ඕල්කට් ගුණසේකර, අනුලා විජේසුන්දර, මැන්දිස් රෝහණධීර, පී.ඒ. සේනාරත්න යන ගිහි විද්වතුන් ද එහි සාමාජිකයින් විය.
එම කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ ‘ලංකාවේ මුස්ලිම් බලපෑම්’ යනුවෙන් අනු මාතෘකාවක් තිබේ. එහි සඳහන් වන්නේ බෞද්ධ සිද්ධස්ථාන ක්‍රම ක්‍රමයෙන් ඉස්ලාම්කරණය වී ඇති අයුරු ය. ඒ සම්බන්ධයෙන් නිදර්ශන ලෙස දක්වා ඇත්තේ බලංගොඩ කූරගල ලෙන් විහාර සංකීරණය, පොතුවිල් මුහුදු මහ විහාරය, දීඝවාපියේ පූජා භූමි පරිශ්‍රය යනාදී සිද්ධස්ථාන ක්‍රම ක්‍රමයෙන් ඉස්ලාම්කරණය වූ ආකාරය යි. මීට අමතරව ශතවර්ෂාධික කාලයක් තිස්සේ සිංහල බෞද්ධ ප්‍රදේශ වශයෙන් පැවති රක්වාන, කටුගස්තොට, ගම්පොළ වැනි ප්‍රදේශවල සිංහල බෞද්ධ ජන ඝනත්වය දශකයෙන් දශකයට අඩු වී ඇති ආකාරයත්, ඒ අනුව ඇතැම් ප්‍රදේශවල සිංහල බෞද්ධයින් ජන ඝනත්වය අතින් ක්‍රම ක්‍රමයෙන් තුන්වැනි තැනට වැටී ඇති ආකාරයත් දක්වා ඇත. එම වාර්තාවේ දැක්වෙන ආකාරයට 2002 වන විට ගම්පොළ නගරයේ හතරැස් සැතපුමක් තුළ මුස්ලිම් පල්ලි 32 ක් තිබී ඇති අතර ඒවා ඉදිකර ඇත්තේ බෞද්ධ සිද්ධස්ථානවලට අයත් වූ ඉඩකඩම්වල ය.
මෙවැනි තොරතුරු වාර්තා කර තිබෙන කොමිෂන් සභා වාර්තාවේ ‘නිර්දේශ’ යටතේ 140 වැනි පිටුවේ මෙසේ සඳහන් වේ.
‘‘බෞද්ධයින් අන්‍යාගම්වලට හැරවීම ඉතා සූක්ෂ්මව මෙන් ම සදාචාර විරෝධී ලෙස කෙරෙන බවට ඇති ඉහත සඳහන් කළ සාක්ෂි සලකන විටත්, මෑතක දී ඇතැම් ප්‍රදේශවල මෙය ප්‍රචණ්ඩත්වයට හේතු වී ඇති බව සලකන විටත්, මේ ප්‍රශ්නය පිළිබඳව නිසි පියවර දැන්වත් ගත යුතු බව වගකීමක් ඇතිව කොමිසම ප්‍රකාශ කරයි. එසේ නොකළහොත් ශ්‍රී ලංකාවේ ආගමික ආරවුල් ඇති වී රටේ අස්ථාවර භාවයක් පහලවීමට බොහෝ ඉඩකඩ තිබේ.’’
මේ කියන ‘බුද්ධ ශාසනය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාවට සහ එහි නිර්දේශවලට’ ද අත්වූයේ, එකල චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය විසින් පත්කළ ජනාධිපති කොමිෂන් සභා බොහොමයකම වාර්තාවලට අත්වූ පොදු ඉරණම ම ය.
2002 එම කොමිසම විසින් පූර්වාපේක්ෂා කළ පරිද්දෙන්ම, ඊට දශකයකට පසුව, එනම් 2012 න් පසුව දර්ගා නගරය, දිගන, ගිංතොට, හිඟුල, බේරුවල, මාවනැල්ල, ආදී ප්‍රදේශ හරහා ඉස්ලාම්-බෞද්ධ ගැටුම් රැල්ලක් ම පැතිර ගියේ ය. මේ කියන දශකය යනු, ලංකාවේ පමණක් නොව ලෝකය පුරා ම ‘ඉස්ලාම් අන්තවාදය’ දැඩිව ක්‍රියාත්මක වු කාල වකවානුවකි. උදාහරණයක් ලෙස ජී.ටී.ඩී. හෙවත් ‘ග්ලෝබල් ටෙරරිසම් ඩේටාබේස්’ හි දැක්වෙන ආකාරයට ගතවූ දශකය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ඉස්ලාම් අන්තවාදීන් විසින් ‘ඉස්ලාම් අන්තවාදයේ ත්‍රස්තවාදී ක්‍රියාකරකම් 9% සිට 53% දක්වා ශීඝ්‍ර වර්ධනයකට ලක් වී තිබීම ගත හැකිය.
ගතවූ දශකය තුළ ඉස්ලාම් අන්තවාදීන් විසින් නිව්යෝක් නගරය තුළ පමණක් හතර වතාවක් ම බරපතළ ගණයේ හානි ගෙන දුන් බෝම්බ පිපිරවීම් සහ වෙඩි තැබීම් සිදු කර තිබිණි. එමෙන් ම ගතවූ දශකය තුළ වොෂින්ටන් හි දෙවතාවක් ද, බොස්ටන් හි දෙවතාවක් ද, ෆ්ලොරිඩා ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවක ම එක් අවස්ථාව බැගින් ඉස්ලාම් අන්තවාදීන් විසින් බෝම්බ ප්‍රහාර දියත් කර තිබුණි. ඉස්ලාම් අන්තවාදයේ දෘඪ මුහුණුවර පෙන්වන එවැනි ප්‍රහාරවලට ඇමෙරිකාව උත්තර දෙමින් සිටින්නේ, ඉස්ලාම් අන්තවාදීන්ට සහ ඔවුන්ට රැකවරණය දෙන රාජ්‍යවලට යුදමය වශයෙන් ආක්‍රමණ එල්ල කරන මට්ටමිනි. ඊට අමතරව සී.අයි.ඒ. සහ එෆ්.බී.අයි. ඔත්තු සේවයට අමතරව ඇමෙරිකාව විසින් පවත්වාගෙන යනු ලබන ‘ජාතික ආරක්ෂක ඒජන්සිය’ නම් වන ඔත්තු සේවය යටතේ මුස්ලිම් අන්තවාදීන් සම්බන්ධයෙන් සොයා බලන වෙනමම ඒකකයක් ද පවත්වාගෙන යමින් සිටින අතර නිරන්තරයෙන් ම ඇමරිකාවට වින කරන ඉස්ලාම් අන්තවාදීන් පිළිබඳ ඔත්තු බලමින් සිටී.
ඉස්ලම් අන්තවාදයට එරෙහිව ලොව පුරා විවිධ ආගමික සංවිධාන බිහි වූ අතර ආසියානු කලාපයේ බිහිවූ එවැනි බෞද්ධාගමික සංවිධාන හැඳින්වුණේ, ‘Islam Phobic Buddhist Nationalism’යනුවෙනි. එනම් ‘ඉස්ලාම් භීතික බෞද්ධ ජාතිකවාදය’ යනුවෙනි. එහි මූලික අදහස වන්නේ, ‘අවිහිංසාවාදය, ඉවසීම වැනි ගුණාංග ප්‍රගුණ කරන බෞද්ධයින් ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සංවිධානගත වන්නේ හුදෙක් තමන්ගේ ආගමට ඉස්ලාම් අන්තවාදයෙන් වන හානිය සම්බන්ධයෙන් පවතින බිය හේතුවක් කරගෙන ය’ යන්නය. ලෝකයේ ආගමික සංවිධාන බිහිවීමේ රටා අධ්‍යයනය කරන පර්යේෂකයින් තායිලන්තයේ ‘ධර්මා සංවිධානය’, මියන්මාරයේ ‘969 සංවිධානය’ මෙන් ම ශ්‍රී ලංකාවේ ‘බොදුබල සේනා සංවිධානය’ ද දමන්නේ එකම කුලකයට ය. එනම් ‘ඉස්ලාම් භීතික බෞද්ධ ජාතිකවාදීන්ගේ’ කුලකයට ය.
‘බොදුබල සේනා’ එහි ආරම්භක යුගයේ දී, දිනවකවානු සහිතව කියන්නේ නම් 2013 පෙබරවාරි 17 වැනිදා 1300 ක භික්ෂුන් සංඛ්‍යාවක ද, 16,000 ක බෞද්ධ ගිහියන් පිරිසකගේ ද සහභාගිත්වයෙන් පවත්වන ලද සමුළුවක දී එවකට පැවැති රජයට මෙවැනි තර්ජනයක් කර තිබුණි. එහිදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා තිබුණේ ‘‘රජයේ මැදිහත්වීමෙන් ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් බෞද්ධයින් සහ භික්ෂූන් යොදවා සිවිල් පොලිසියක් හදනවා…’’ යනුවෙනි.
ඇත්තෙන්ම වඩාත් ‘නොහික්මුණු ඥානසාර’ කෙනකු අපට හමුවන්නේ ඉන්පසුවය.
බෞද්ධාගමට තර්ජනයක් වන පරිද්දෙන් සංවිධානාත්මකව බෞද්ධයින් වෙනත් ආගම්වලට හරවනවිට සහ පන්සල් කඩා දමමින් වෙනත් ආගමික සිද්ධස්ථාන ඉදිකරන අවස්ථාවල බෞද්ධ භික්ෂූන්ගේ ‘ඉවසීම’ නැතිවූ බවට දෙස් දෙන ඓතිහාසික සාක්ෂි ද බොහොමයක් තිබේ. මහාචාර්ය කිත්සිරි මලල්ගොඩ අතින් ලියැවුණු වැදගත් පර්යේෂණ කෘතියක් වන The Buddhist Christian Confrontation In Ceylon (1973) හි 173 වැනි පිටුවේ තිබෙන පහත සඳහන් ‘උපුටනය’ එවැන්නකි.
‘‘බෞද්ධයින් බලෙන් ක්‍රිස්තියානියට හරවන විට, ඉවසීමේ සාම්ප්‍රදායික බෞද්ධ ගුණය වඩා ආවේගශීලී ප්‍රතිචාරයක් දක්වා මාරුවීම හරහා නොඉවසීම තදින් ප්‍රකට කළහ’’
ඉන් කියැවෙන්නේ ද, යටත් විජිත සමයේ දී, මෙරට පැතිර ගිය ක්‍රිස්තියානි අන්තවාදයට එරෙහිව බෞද්ධ භික්ෂූන් ‘ආවේගශීලීව’ හැසිරුණු ආකාරය යි. එමෙන් ම ඉන් කියැවෙන පරිද්දෙන් ද එකල සිටි භික්ෂූන් වහන්සේලා එතැනට තල්ලු වී තිබෙන්නේ, අන් ආගමක් විසින් තම ආගමට සහ ආගමික සංස්කෘතියට තර්ජනයක් වන පරිදි ක්‍රියාකරන්නට පටන් ගත් පසුව ය.
ඒ අනුව මෙරට බෞද්ධ භික්ෂූන්ගේ කැරලිකාරී හැසිරීම් පිළිබඳ එකී ඓතිහාසික සාධක දෙසත්, කලාපය තුළ වර්තමානයේ හමුවන සමකාලීන ඉස්ලාම් අන්තවාදයට එරෙහි බෞද්ධ ව්‍යාපාර දෙසත් බලන විට මේ කාලයේ, මේ රටේ ‘ඥානසාර කෙනෙකු’ බිහිවීම සම්බන්ධයෙන් පුදුම වන්නට දෙයක් නැතැයි කිව හැකි ය. කෙසේ වෙතත් එය ‘ඥානසාර හිමියන්’ පිළිබඳ ‘එක්තරා පැතිකඩක්’ පමණි.
උන්වහන්සේ පිළිබඳ ‘අනෙක් පැතිකඩ’ හෙළිදරව් වන්නේ ‘බොදුබල සංවිධානයට අරමුදල් සැපයෙන්නේ කොහෙන් ද?’ සහ ‘උන්වහන්සේගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම්වල දේශපාලන වාසි ලැබෙන්නේ කාට ද?’ යන ප්‍රශ්නවලට පිළිතුරු සොයන විට ය.
ඒ නිසා ඥානසාර හිමියන් නිදහස් කරන්නට සැරසෙන්නේ ය යන ආරංචියට ප්‍රතිචාර දක්වමින් ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ නමැති සංවිධානයේ කැඳවුම්කරු වන නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න ‘ මී ළඟ ජනාධිපතිවරණය අවසන් වන තුරු ඥානසාර හිමියන් නිදහස් නොකළ යුතු බව’ පවසා තිබුණේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නට සූදානමින් සිටින ‘ගෝඨාභයට’ දේශපාලන අවාසියක් වේ ය යන විශ්වාසයෙනි. ‘‘මේ වෙලාවේ ඥානසාර හිමියන් නිදහස් කරන්න හදන්නේ, ජනාධිපතිවරණයට එන ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද කඩන්න. ඥානසාර හාමුදුරුවො එළියට ඇවිල්ලා ජනාධිපතිවරණය ම ඉලක්ක කරගෙන මුස්ලිම් කතෝලික ක්‍රිස්තියානි හින්දු ආගමිකයින්ට බැණ වැදිලා, ආගමික වාර්ගික බේද ඇති කරයි. ඕනෑ නම් ‘ගෝඨාභයට ඡන්දෙ දෙන්න’ කියලා තැනක දෙකක කියයි. ඒකම ඇති ගෝඨාභයගේ ඡන්ද කඩන්න. ඒ නිසා අපි ඉල්ලා හිටින්නේ, ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව දුන්නට කමක් නෑ. හැබැයි ජනාධිපතිවරණෙ ඉවර වෙනකල්වත් ඉන්න’’ යනුවෙන් ඔහු පැවසූවේ ඒ නිසා විය යුතු ය.
කොහොමටත් ජාතිකවාදී දේශපාලන ප්‍රවාහයේ දේශපාලන මතධාරීන් විශ්වාස කරන්නේ ඥානසාර හිමියන්ගේ ‘ප්‍රචණ්ඩකාරී හැසිරීම්’ නිසා සෘජුව මෙන් ම වක්‍රව ද බෞද්ධයින්ට බෞද්ධ භික්ෂූන්ට මෙන් ම ජාතිකවාදී දේශපාලන ප්‍රවාහයට ද ‘මහත් අගෞරවයක්, අවැඩක් සහ හානියක් වන බව’ ය. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට අනුව ඥානසාර හිමියන් යනු ‘නෝර්වේ ආධාර ලබමින්’ ක්‍රියාත්මක වන ‘බළල් අත’කි. ඒ ගැන සැක සංකා මතු වන්නේ කෙසේද?
2014 මාර්තුවේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඇමෙරිකාව විසින් යුද අපරාධ චෝදනාවක් ගෙන ආවේය. ඒ වන විට සදාම් හුසේන්, මුවම්මර් ගඩාපි වැනි මුස්ලිම් රාජ්‍ය නායකයින් මරා දමමින් ඇෆ්ගනිස්තානයට බෝම්බ හෙළා සුනු විසුනු කරමින්, පලස්තීනයට බෝම්බ හෙළා ඔවුන් සරණාගතයින් කරමින් ඇමෙරිකාව මුස්ලිම් ලෝකයේම වෛරයට පාත්‍ර වී සිටියේය. පලස්තීන විමුක්ති සටනට සහාය දෙන මහින්ද රාජපක්ෂට ශ්‍රීලනිපයේ වෙනත් නායකයින්ට නැති ආදරයක් බැඳීමක් මෙරට මුස්ලිම් ජනතාව අතර තිබිණ. ඉතිහාසයේ වෙනත් කිසිදු කැබිනට්ටුවක නොසිටි තරම් මුස්ලිම් ඇමැති මණ්ඩලයක් සිටියේ මහින්දගේ කැබිනට්ටුවේය. එබඳු තත්ත්වයක් යටතේ මහින්ද රාජපක්ෂට එරෙහිව යුද අපරාධ චෝදනාවක් තමන්ගේද සතුරා වන ඇමෙරිකාව විසින් ඉදිරිපත් කිරීම මෙරට මුස්ලිම් ජනතාව වේදනාවට පත් කරන්නක් විය. බණ්ඩාරගම, අලුත්ගම, බේරුවල ආදී ප්‍රදේශ කේන්ද්‍ර කරගත් මහා මුස්ලිම් ජනතාවක් මහින්ද වෙනුවෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලය වැටලුවේ මහින්දගේ ඡායාරූපයද රැගෙනය.
මේ වකවානුව වන විට උතුරේ ඇතැම් ප්‍රදේශවලින් හින්දු ජනතාව අතරද මුස්ලිම් විරෝධයක ලකුණු පහල වෙමින් තිබිණ. මේ විරෝධය මතුවූයේ දෙමළ කතෝලික ප්‍රජාවගෙනි. මුස්ලිම්වරුන් අනවසර පදිංචි කිරීම්වලට එරෙහිව ජෝසප් රාජසේකරම් පියතුමා ලිඛිතව තම කතෝලික විරෝධය පෙළගස්වමින් සිටියේය.
2014 ජුනි මාසය එළඹිණි. අලුත්ගම නගරයේදී භික්ෂුවක් ගිය ත්‍රිරෝද රියක් හා මුස්ලිම් තරුණයකු අතර සුළු ගැටුමක් එම නගරයේදී මතුවිණි. සිංහල ජාතියේ වීරයා වීමේ අවකාශය ගලගොඩඅත්තේට පෙනිණ. එදා අලුත්ගම නගරයේ පැවැත්වූ රැස්වීමේදී ගලගොඩඅත්තේ මුස්ලිම් විරෝධයට වඩා මතු කළේ රාජපක්ෂ ඇතුළු ආණ්ඩු විරෝධයයි. එදා ඒ වේදිකාවේ දරුණුම ආවේගශීලීම මුස්ලිම් විරෝධී කතාව කළේ එදා හෙළ උරුමයේ සිටි ගායකයාය. එදා සන්ධ්‍යාවේ ඇතිවූ ගැටුම ජෝර්දානයේ සිටි මහින්ද රාජපක්ෂටද විදේශගතවී සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභයටද ඓතිහාසිකව බලපෑවේය. කතෝලික දෙමළ ජනතාවත්, ඇමෙරිකාවත් සමග ගැටුමේ යෙදී සිටිමින් මහින්දට හිතවත්ව සිටි මුස්ලිම්වරු එක රැයෙන් කණපිට හැරිණි. ඒ රැයෙන් පසු පැවැත්වූ කැබිනට් රැස්වීමේදී පැවැති තත්ත්වය සමතයට නම් මේ සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාවේ යෙදිය යුතු බව කැබිනට් මණ්ඩලයේ බහුතර විශ්වාසය විය. එහෙත් එයට එකහෙළා විරුද්ධ පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා කීවේ එහෙම කළොත් මම අස්වෙනවා. එපමණකි.
මුස්ලිම් ජනතාව දැවැන්ත ලෙස මහින්දගෙන් වෙන්ව තිබිණ. එයින් පසු ගලගොඩඅත්තේ හිමියන් කිහිප වතාවත්කම නෝර්වේ සංචාරයක වැඩියහ. නෝර්වේ රාජ්‍යයෙන් මුදල් ලැබෙන බවට චෝදනා එල්ල වෙද්දී එහිමියන් කීවේ මට නෝර්වේ රාජ්‍යයේ බැතිමතුන් උදව් කරන බවය. මේවා මෙසේ වූයේ ඇයි?
දෙමළ කතෝලික ජනතාව මුස්ලිම් ජනතාවගේ අළු යට වූ ගිනි බේරුවලදී සිංහල ජනතාව මත පත්තු වූයේ නිකම්ද? ගලගොඩඅත්තේ හිමියන්ටත් වඩා ඉදිරියට ගොස් එදා බේරුවලදී හෙළඋරුමයේ ගායකයා සිංහලයන් ඇවිස්සුවේ නිකමටද? අද සංහිඳියා ආණ්ඩුවේ ඉන්නා චම්පික රණවක එදා කැබිනට්ටුවේදී ගලගොඩ අත්තේ හිමි වෙනුවෙන් ඇමැති ධුරයටත් පයින් ගසන තරමට දැඩි වූයේ ඇයි?
ගලගොඩඅත්තේ හිමි නෝර්වේ රාජ්‍යයට නිතර වැඩ වදාරා එහිදී ලාංකික බෞද්ධයන්ගෙන් පමණක් පරිෂ්කාර ලබන්නේද යන්න පැහැදිලි නැත.
මේ සිදුවීම්දාමයට ගලගොඩඅත්තේ හිමි නොදැනුවත්ව එහෙත් සාධු චේතනාවෙන් දායක වූවා විය හැකිය. ඒ අතර අපට තේරෙන්නේ දුරක නොපෙනෙන තැනක හිඳ මේ දේ මෙහෙයවනවා විය හැකිය. කෙසේ වෙතත් දෙජාතියටම කිව යුත්තේ
කරපු මෝඩකම් දෙන්නට සරියේ
තවත් මෝඩකම් නොකරන් මරියේ කියාය.
– සුරේඛා සමරසේන