ටැප් නැතිකොට ටැබ් කුමටද?
උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීමේ ව්‍යාපෘතිය වරක් ජනාධිපතිවරයා අත්හිටුවූයේ නියමු ව්‍යාපෘතියක් සිදුකර එහි ප්‍රතිඵල ලබා ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙනය. එහෙත් මේ වන විට ලැබෙන තොරතුරු සලකා බලන විට පෙනී යන්නේ ජනාධිපතිවරයා ගත් එම තීරණය පසෙක තබා ජනාධිපතිවරයාම ප්‍රධානත්වය දරන කැබිනට් මණ්ඩලය ටැබ් පරිගණක ලබා දීමේ යෝජනාව කඩිමුඩියේ අනුමත කර ඇති බවය. මෙලෙස සිදුවීමට නම් එක්කෝ ජනාධිපතිවරයා තම කලින් තීරණය අකුළා ගත්තා විය යුතුය. එසේ නොමැති නම් ජනාධිපතිවරයා නොමග යැවීමක් සිදුවිය යුතුය.
නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත්නම් කැබිනට් මණ්ඩලය වගකීමෙන් කටයුතු කර ඇති බව පෙනේ. එහෙත් නියමු ව්‍යාපෘතියේ නියැදිය පිළිබඳව ඔවුන් සැලකිල්ලක් දැක්වූවාද යන්න ගැන එවිට සැක පහල කිරීමට සිදුවෙයි. සාමාන්‍යයෙන් නියමු ව්‍යාපෘතියක නියැදියන් 50 ක්, 100 ක්, 200 ක් වැනි ඉතා කුඩා කණ්ඩායමකට සීමා විය යුතුය.
එම වැඩපිළිවෙළ වෙනුවට ඇමැතිවරයාම සඳහන් කරන පරිදි ටැබ් පරිගණක 195,000 ක් ලබා දෙමින් සිදුකරන ව්‍යාපෘතියක් නියමු ව්‍යාපෘතියක් ලෙස කිසිසේත්ම හැඳින්විය හැකි නොවේ. විශේෂයෙන්ම ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල ගැන සලකා බලන විට එය නියැදියක් සඳහා වැය කළ යුතු මුදලට වඩා අති විශාල ගුණාකාරයන් බව පහසුවෙන් තේරුම්ගත හැකිය.
මෙම කටයුත්තට ආරම්භයේදීම රුපියල් බිලියන 4 ක් හෝ 5 ක් වැය කිරීමට රජයට අවශ්‍යව ඇති බවක්ද පෙනෙයි. අධ්‍යාපනය සඳහා දළ ජාතික වියදමෙන් 6% කට ආසන්න මුදල් ප්‍රමාණයක් වැය කරන බවට උදම් ඇනීම හා එමගින් කලින් පැවති රජයන්ට වඩා තමන් අධ්‍යාපනයට විශාල සේවයක් කළ බවට සාක්ෂි පෙන්වීම එහි එක් අරමුණක් විය හැකිය. අනිත් අතින් බැලුවහොත් මෙම අති විශාල මුදල් සම්භාරය වර්තමානයේ නිරන්තරයෙන්ම සාකච්ඡාවට බඳුන් වන මහ බැංකු මංකොල්ලයේ මුදල් ප්‍රමාණයෙන් භාගයකට අඩු වන්නේ සුළු ප්රමාණයකිනි. එසේ නම් මෙම ව්‍යාපෘතිය අසාර්ථක වුවහොත් තවත් ඊට ආසන්න පිරිවැයක බර මහජනතාවට දරන්නට සිදුවීම කිසිසේත්ම වැළැක්විය හැකි නොවේ.
අධ්‍යාපන ව්‍යාපෘතිවල ප්‍රතිඵල මාස කිහිපයකින් හෝ වසර එකකින්, දෙකකින් බලාපොරොත්තු විය නොහැකි යැයි කියමින් මෙහි වගකිවයුතු බලධාරින් එවිට අතපිස දමා ගනු ඇත. එහෙත් ප්රශ්නය වන්නේ සිදු වූ අලාභය දුප්පත් ජනතාවගේ කරපිටටම පැටවීම පමණකි.
ලක්ෂ දෙකකට ආසන්න මෙම ටැබ් යන්ත්‍ර ප්‍රමාණයේ ගුරුවරුන් වෙනුවෙන්ද කොටසක් වෙන්කර ඇත්නම් ශිෂ්‍යයන්ට ලැබෙන ප්‍රමාණය ලක්ෂ එකහමාරක් හෝ ඊට මඳක් වැඩිවිය හැකිය. 2018 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 324,469 ක් වන අතර වසර 2 තුළ ගිලිහී ගිය සිසුන්ද සැලකිල්ලට ගතහොත් ටැබ් ලැබීමට සුදුසුකම් ලබන සමස්ත ශිෂ්‍ය ප්‍රමාණය 330,000 ක් පමණ විය හැකි යැයි අනුමාන කළ හැකිය. එසේ නම් ටැබ් යන්ත්‍ර ලබා දෙන්නේ සමස්ත උසස් පෙළ ශිෂ්‍ය ප්‍රජාවෙන් අඩකට පමණය. එවිට සිසුන් තෝරා ගැනීම සඳහා කුමක් හෝ පදනමක් භාවිත කළ යුතු වෙයි. නාගරික ප්‍රදේශවල ඉගෙන ගන්නා සිසුන් තෝරා ගන්නේ නම් ග්‍රාමීය ප්‍රදේශවල සිසුනටද, විද්‍යා, ගණිත විෂය ධාරා උගන්නා සිසුන් තෝරා ගන්නේ නම් වාණිජ – කලා විෂය ධාරා හදාරණ සිසුන්ටද අසාධාරණයක් සිදුවනු ඇත. එසේ වුවහොත් රටේ සියලුම උසස් පෙළ සිසුන්ට ප්රතිලාභ ලැබෙන බවට ඉඟි කරමින් රටේ සමස්ත ජනතාවම ගොනාට ඇන්දවීමට කටයුතු කිරීමක් වනු ඇත.
යුනෙස්කෝ සංවිධානයේ තිරසර සංවර්ධන අරමුණුවලින් ද හඳුනාගෙන ඇති පරිදි ‘‘සියල්ලන්ටම පරිගණක සාක්ෂරතාව ලබා දීම’ පිළිබඳ කිසිවකුගේ විරුද්ධත්වයක් නැත. එහෙත් ගැටලුව පවතින්නේ එය ක්‍රියාත්මක කිරීමට කැසකවන ආකාරය පිළිබඳවය.
නිවෙස්වල ඇති පරිගණක යන්ත්‍ර භාවිත කිරීමේදී බොහෝ විට දෙමාපියන්ගේ අධීක්ෂණයට ලක්වෙයි. එහෙත් අන්තර්ජාල පහසුකම් නොඅඩුවම සැපයෙන ටැබ් පරිගණකයක් හා හා පුරා කියා ලැබෙන විට හා පැය 24 පුරාම එය තමන් සන්තකයේ පවතින විට නව යොවුන් අවධියේ පසුවන උසස් පෙළ සිසු සිසුවියන් අන්තර්ජාලයේ අසීමිත නිදහස විඳීමට යොමු නොවනු ඇතැයි සහතික වීමට බලධාරින්ට හැකිද?
රූපවාහිනී වැඩසටහනකදී අදහස් දැක්වූ අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ විෂය භාර අධ්යක්ෂවරයා ටැබ් අයථා භාවිතය වැළැක්විය හැකි බවත්, නිවසේදී භාවිත කරන විට පවා එය සීමා කිරීමට හැකි බවත්, එබැවින් දෙමාපියන් අස්ථාන බියක් ඇතිකර ගත යුතු නැති බවත් සඳහන් කරමින් සහතිකයක් ලබා දුන්නේය. අද යොවුන් පරපුර ඔහුට වඩා තාක්ෂණ මෙවලම් හැසිරවීමට අති දක්ෂයන් බව අමුතුවෙන් කිවයුතු නොවේ. අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි කිසිදු බාධාවකින් තොරව සිදු කරන අතරේම, අනවශ්‍ය මාතෘකාවලට අන්තර්ජාලය හරහා යොමු වීම වැළැක්වීමට සුදුසු තාක්ෂණයක්ද ඔහුට හඳුන්වා දිය හැකි නම් ඔහුට නොබෙල් ත්‍යාගයට වුවද ඉල්ලුම් කිරීමට එය සුදුසුකමක් වනු ඇත.
මෙසේ සඳහන් කරන්නේ පරිගණක හෝ ටැබ් පරිගණක අපේ රටේ පාසල් තුළ භාවිත කළ යුතු නැතැයි පවසන්නට නොවේ. මේ වන විට අමාත්‍යාංශය ආරම්භ කර ඇති 6 ශ්‍රේණියේ සිට පරිගණක විෂය හැදෑරීමට ඉඩ පහසුකම් ලබා දීම වැනි ව්‍යාපෘතියක් පිළිබඳව අපේ සතුට පළ කළ යුතුය.
පැය 24 පුරාම තමන් සන්තකයේ ටැබ් යන්ත්‍ර ළඟ තබා ගැනීම වෙනුවට පාසලේ දී පමණක් භාවිතය සීමා කිරීම මෙයට විසඳුමක් ලෙස කෙනකුට යෝජනා කළ හැකිය. එවිට පන්ති කාමරයේ විෂය ඉගෙන ගන්නා කාල පරිච්ඡේද අටේ දී ඒ සඳහා ටැබ් යන්ත්‍රය භාවිත කිරීමේ හැකියාව පවතී.
වර්තමානයේ උසස් පෙළ සිසුන් ගත කරන්නේ ඉතා කටුක, එමෙන්ම අවිවේකී ජීවිතයකි. උදේ වරුව පාසලේත්, ඉන්පසු සවස්වරුව අමතර පන්තිවලත් ගතකරන සිසුන් බොහෝ විට සති අන්තයද ගත කරන්නේ අමතර පන්තිවලය. තියරි ක්ලාස් එකක් හෝ සමහර විට දෙකක්, ටියුට් ක්ලාස්, රිවිෂන් ආදී විවිධ පන්තිවල ඔවුන්ට කාලය ගත කරන්නට සිදුව තිබෙන්නේ පාසලෙන් සිදු කෙරෙන ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳව සෑහීමකට පත්වීමට නොහැකි නිසා විය යුතුය. උසස් පෙළ ගුරුවරුන්ද නියමිත කාලයේ ‘සිලබස් කවර්’ කිරීමට හැල්මේ දුවන අතර සිසුන්ගේ අභ්‍යාස පොතක්වත් ලකුණු කිරීමට කාලයක් ඉතිරි නොවන තත්ත්වයක්ද පෙන්නුම් කරයි.
ටැබ් යන්ත්‍ර හරහා ප්‍රශ්න පත්‍ර ලබා දී ගුරුවරයා ඒවා ලකුණු කිරීමක් ගැනද කනින් කොනින් අසන්නට ලැබෙන අතර දැනට රතු පෑනකින්වත් සිදු නොකරන කටයුත්තක් තමන්ට එතරම් සමීප නොමැති තාක්ෂණික මෙවලමක් හරහා සිදු කිරීමට ගුරුවරුන්ට එතරම් පහසු වන්නේ නැත. ඉංග්‍රීසි හරිහැටි නොදන්නා කෙනකුට වුවත් ඉංග්‍රීසි යතුරු පුවරුව භාවිත කිරීම එතරම් අපහසු නොවූවත් සිංහල/ දෙමළ යතුරු පුවරු භාවිත කරමින් උත්තර ලිවීමට සිසුන්ටත්, පිළිතුරු ලකුණු කිරීමට ගුරුවරුන්ටත් විශාල කාලයක් කැප කිරීමට සිදුවනු ඇත.
දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය සඳහා උසස් පෙළ ගුරුවරු 30,000 ත්, 40,000 ත් අතර ප්‍රමාණයක් පුහුණු කළ යුතු අතර එය කඩිනමින් සිදු කළ හැකි පහසු කටයුත්තක් ලෙස කෙනකු සිතන්නේ නම් එය මහා අමනෝඥකමකි.
ටියුෂන් පන්ති කෙරුවාව මේ වන විට රටම ගිලගෙන හමාරය. ඵලදායී ප්‍රතිඵල පෙන්වන ගුරුවරුන් වෙත සිසුන් විශාල වශයෙන් ඇදී එන්නේ මේ නිසාය. සිසුන්ට ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට අමතර පන්තිවලදී උදව්කරන ගුරුවරුන් සතු අත්දැකීම්, ටැබ් යන්ත්‍රයකට ආදේශ කිරීම සිතන තරම් පහසු කටයුත්තක් නොවේ. මන්ද ඇතැම් විට ටැබ් යන්ත්‍රයේ අන්තර්ගත කරුණු පිළියෙල කිරීමට බොහෝ විට දායක වන්නට ඉඩ ඇත්තේ ඉහළ ප්‍රතිඵල පෙන්වූ අත්දැකීම් බහුල ගුරුවරුන් නොවන්නට ඉඩ පවතින නිසාය. ජාතියේ අවාසනාවකටදෝ ඉහළ ප්‍රතිඵල පෙන්වන ගුරුවරුන් විෂය මාලා/ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සංස්කරණ හා සමාලෝචන කටයුතුවලට දායක වීමේ ඉඩකඩද අවමය.
සපත්තු කුට්ටම, පොත්, පෑන්, බෑග් ආදිය නැතිවීම අපේ පාසල් පද්ධතියේ බහුලව දක්නට ලැබේ. ඉදිරියේදී ටැබ් නැති වීමේ අවස්ථාද එයට එකතු වනු නොඅනුමානය. අඩු වටිනාකමකින් යුත් භාණ්ඩයක් මෙන් නොව රජයේ දේපොළක් වන ටැබ් යන්ත්‍රයක් නැති වූ විටකදී එය පොලිසිය දක්වා හෝ එයිනුත් ඔබ්බට ගෙන යා යුතු කරුණක්ද වනු ඇත. ශිෂ්‍යයන්ට පමණක් නොව, මෙය ගුරුවරු, විදුහල්පතිවරුන්ටද අමතර බර පැටවීමක් වනු නොඅනුමානය.
ටැබ් යන්ත්‍ර ජල රෝධක ඒවා නොවන්නේ නම් හදිසියේ අතරමගදී වැස්සකට අසු වුවහොත් එහි වගකීම දැරිය යුතු වන්නේ ශිෂ්‍යයන්ද? ගෙදර මුදල් හදිසියකදී කවුරුන් හෝ ටැබ් යන්ත්‍රය මුදල් බවට පත් කළහොත් එහි වටිනාකම රජයට අහිමි වන්නේද? වසර 2 ක අධ්‍යයන කටයුතු අවසානයේදී නැවත ටැබ් යන්ත්‍ර එකතු කර ගන්නවාද? එසේ බාර නොදෙන ශිෂ්‍යයන් පිළිබඳ වැඩපිළිවෙළ කුමක්ද? ගිලිහී යන සිසුන්ගේ ටැබ් යන්ත්‍ර නැවත ලබා ගන්නේ කෙසේද? මෙම ආපසු ලබා ගන්නා ටැබ් යන්ත්‍ර ඊළඟ කණ්ඩායමට ලබා දෙන්නේද? එසේ නම් ඒවා තවත් අවුරුදු දෙකකට භාවිත කළ හැකි බවට සහතික වන්නේ කව්ද? නොමැති නම් අවුරුදු 2 කට පසු මේ රටේ දුප්පත් ජනතාවගේ බිලියන 4 ක් හෝ 5 ක් වියදම් කළ බවට උදම් අනා අතපිස ගන්නවාද? ලක්ෂ දෙකක් පමණ වන ටැබ් යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ ක්‍රමවේදය කුමක්ද? වයිෆයි පහසුකම් නැති පාසල්වල බිල ගෙවන්නේ කව්ද? එදාවේල පවා අමාරුවෙන් සොයා ගන්නා දෙමාපියන්ගේ දරුවන්ට අන්තර්ජාල පහසුකම් සපයා ගන්නේ කෙසේද? වැනි ප්‍රශ්නවලට නොබෙල් සම්මානයට උරුම කියන අය පිළිතුරු සපයාගෙන ඇත්දැයි සාමාන්‍ය අපට නම් නොවැටහේ.
ඕනෑම ආයතනයක දියුණුවට බලපාන ප්‍රධානතම සාධකයක් වන්නේ එහි නායකයාගේ ක්‍රියා පිළිවෙතයි. පින්ලන්තයේ අධ්‍යාපනයේ විශිෂ්ටකම ගැන උදම් අනනා අපේ පාලකයන් මේ රට පාසල් පද්ධතියේ කොඳු නාරටිය වන විදුහල්පතිවරුන්ට කෙළින් සිටගෙන කටයුතු කරන්නට කුමන සහායක්වත් ලබා දී නැත. එපමණක් නොව ඔවුන් තම වහලුන්, වන්දිභට්ටයන් ලෙස සලකා කටයුතු කරන බවට හොඳම උදාහරණය නම් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන ජාතික පාසල් 354 න් 300 කට අධික සංඛ්‍යාවකට ස්ථිර විදුහල්පතිවරුන් පත් නොකිරීමයි.
බටහිර ලොවේ සංව්ර්ධිත රටක් වූ පින්ලන්තය පමණක් නොව ආසියානු කලාපයේ චීනය, මැලේසියාව, කොරියාව වැනි රටවල පාසල් පද්ධතියටවත් මෙවැනි මෙගා වැඩ හඳුන්වා දී නැත. එම රටවලද මෙවැනි ව්‍යාපෘති ආරම්භ කර ඇත්තේ තෝරාගත් පාසල්/ ඉහළ පහසුකම් සහිත පාසල්වල පමණකි. දේශපාලන වාසි පමණක් මුල්කරගෙන අපේ රටේ සීමිත මුදල් මෙවන් අයුරින් කාබාසිනියා කිරීම අපරාධයක් බව අපගේ හැඟීමයි.
මූලික සනීපාරක්ෂක හා ජල පහසුකම්වත් නොමැති පාසල් විශාල සංඛ්‍යාවක් අපේ රටේ පවතිද්දී ඒවාට අවම පහසුකම්වත් ලබා දීම වෙනුවට භාණ්ඩාගාරයේ පවතින සොච්චම් මුදල මෙලෙස නාස්ති කිරීමට ඉඩ දීම සාධාරණීකරණය කළ හැක්කේ කෙසේද?