News

ඩමි අපේක්ෂකයන් මැතිවරණ කොමසාරිස්ට මාට්ටු

ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් හතර දෙනෙකු සිය ඡන්ද නියෝජිතයන් පත්කිරීමට අදාළ ලිපි එකම ලියුම් කවරයක බහා එවා ඇති බවත්,මෙවැනි කටයුතු දිගින් දිගටම සිදුවන්නේ නම් එම අපේක්ෂකයන්ගේ නම් අනාවරණය කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කීවේය.

රාජගිරිය, මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානයේදී ඊයේ (16 වැනිදා) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව කීවේය.

ඌව පළාතේ කොමසාරිස්වරයකුට මෙම ලිපි එවා ඇති බවද සභාපතිවරයා කීවේය.

එක් අපේක්ෂකයකුට සහාය දෙන අපේක්ෂකයන් පස්දෙනෙක් නිශ්චිතවම සිටින බවත්, තවත් අපේක්ෂකයකුට අපේක්ෂකයන් තිදෙනෙක්ද නිශ්චිතව සහාය දෙන බවද ඔහු කීවේය.

අපේක්ෂකයකුට වක්‍රව සහාය දෙන අපේක්ෂකයන් දෙදෙනකුද සිටින බවද ඔහු පැවැසීය.

සමහර අපේක්ෂකයන් වෙනත් පක්ෂවල ගිවිසුම් අත්සන් කරන අවස්ථාවල සාක්ෂිකරුවන් ලෙසද පෙනී සිට ඇතැයිද සභාපතිවරයා කීවේය.

සාලිය කුමාර ගුණසේකර