News

ත්‍රස්තවාදය මඩින්න පූර්ණ සහයෝගය දක්වන බව ජාත්‍යන්තර පොලිසියේ මහ ලේකම් කියයි

ලංකාවට තවමත් ජාත්‍යන්තර ත්‍රස්තවාදී බලපෑම තිබෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙරට විමර්ශකයින් තින්දු කළ යුතු බවත් එලෙස බලපෑම් ඇත්නම් ඒවා මැඩපැවැත්වීම සඳහා තමන් පූර්ණ සහයෝගය දක්වන බවත් ජාත්‍යන්තර පොලිසියේ මහ ලේකම් කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදී ඊයේ (27) ප‍්‍රකාශ කර ඇත.

මෙරටට පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පැමිණි ජාත්‍යන්තර පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායමට ශ්‍රී ලංකා පොලිසිය සහ මෙරට රජය ලබාදුන් සහාය අගය කිරීම සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර පොලිසියේ මහ ලේකම්වරයා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී එලෙස ප‍්‍රකාශ කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්තවාදී මර්දන හා විමර්ශන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, ජාත්‍යන්තර පොලිසියේ ශ්‍රී ලංකා ශාඛාවේ පොලිස් අධිකාරී රන්ජිත් වෙදසිංහ සහ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර යන මහත්වරු සහභාගී වූහ.