News

තිස්සගේ නඩුව කෙටි මාර්ගයකින් අවසන් කරගැනීමට සැරසෙයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව කෙටි මාර්ගයකින් අවසන් කර ගැනීමට විත්තිය සහ පැමිණිලි පාර්ශවය ගන්නා පියවර මේ මස 24 වනදා වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.

අද(04) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේදී එම නඩුව කැඳවනු ලැබු අතර එහිදී විත්තිකාර තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින් මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට අදාළව අයිතිකරු විසින් කිරීමට අපේක්ෂා කරන ප්‍රකාශය පිළිබඳව අවසන් වශයෙන් දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන මෙන් ඉල්ලීමක් කර ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ද අධිකරණයට දන්වා සිටි ඇත්තේ මෙම නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීම සම්බන්ධයෙන් පැමිණිලිකාර පාර්ශවය හා විත්තිකරු අතර යම් සංහිඳියාවක් ගොඩ නැඟී ඇති හෙයින් මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට හැකියාවක් තිබෙන බව වන අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු විකුම් කළුආරච්චි මහතා දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට දන්වා සිටියේ මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව මේ මස 24 වනදා අධිකරණය දැනුවත් කරන ලෙසයි.

පසුගිය ජනාධිපතිවරණය සමයේ එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුමක් පවතින බවට සඳහන් කූඨ ලේඛනයක් කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රදර්ශනය කිරීම තුළින් ජාතීන් අතර පවතින සුහදතාවය කඩාකප්පල් කිරීමට ක්‍රියා කිරීම මොහු ලැබූ චෝදනාවන් වෙයි.