තුවාල සමග මුහුදු සිංහයකු වෙරළට ගසා එයි
ජාත්‍යන්තර මුහුදේ සැරිසරණ දුර්ලභ ගණයේ මුහුදු ජීවියකු ඊයේ (23) දින පස්වරුවේදි වැලිගම මිදිගම වෙරළ තීරයට ගොඩගසා තිබුණි. මුහුදු සිංහයකු ලෙසින් හදුන්වන මෙම සත්වයා ජීවී තත්වයෙන් සිටි බැවින් එය දැකබලා ගැනීම සදහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
සත්වයා පිළිබදව ප්‍රදේශවාසින් විසින් වැලිගම පොලිසියට සහ මිරිස්ස වනජීවි කාර්යාලය දැනුවත් කිරීමෙන් පසු එහි පැමිණි මිරිස්ස අඩවි ආරක්ෂක කාර්යාලයේ ප්‍රධාන නිලධාරි ඒ.ටි.ආර්. රවීන්ද්‍ර කුමාර මහතා කියාසිටියේ මෙම සත්ත්වයා විදේශ රටක සිට දිය වැලකට හසුව මිදිගම වෙරළට ගසාගෙන එන්නට ඇතැයි විශ්වාස කරන බවයි. මෙම සත්වයා ඉතාමත් දුර්ලභ ගණයේ සත්වයකු වන අතර ලංකාවේ මුහුදේදී දක්නට නොලැබෙන බව ද ඒ මහතා කීවේය.
ගල්පරය මතට ගොඩගසා සිටි සතාගේ ශරීරයේ තුවාල දක්නටවූයෙන් ප්‍රතිකාර කිරීම සදහා නාවික හමුදාව, වනජීවී නිලධාරීන්, මිරිස්ස වෙරළ ආරක්ෂක නිලධාරීන් හා පොලීසිය එක්ව සතා ගොඩබිමට ගෙනඒම සදහා උත්සාහයක් ගත්තද සතා මෙල්ල කිරීමට තිබූ අපහසුතාවය සමඟ උත්සාහය අසාර්ථක විය. පසුව රළ පහරට සතා ගැඹුරු මුහුදට ගසා ගෙන ගියේය.

