News

තෙල් පිරිපහදුවේ කොවිඩ් පොකුර ගැන සොයන්න කමිටුවක්

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවකයන් 474 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කොවිඩ් ආසාදිත සේවකයින් හඳුනා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

කමිටුව විසින් දින 10ක් තුළ මේ සම්බන්ධ වාර්තාවක් බලශක්ති අමාත්‍යවරයා වෙත ලබාදිය යුතුය.

බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්දිකා ඇතුගල මහත්මියගේ සභාපතිත්වයෙන් එම කමිටුව පත්කර ඇති අතර බලශක්ති අමාත්‍ය උපදේශක ලලිත් වසන්ත, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂක බුද්ධික මඩිහේවා, බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නයනා සේනාරත්න, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ වෛද්‍ය නිලධාරිනී රෝෂිණී රුසිරිවර්ධන යන මහත්ම මහත්මීන් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.

වසර තුනකට වරක් සිදුකෙරෙන පිරිපහදුවේ නඩත්තු කටයුතු මේ දිනවල සිදුවෙන එබැවින් වෙනදාට වඩා වැඩි සේවක සංඛ්‍යාවක් තෙල්පිරි පහදුවේ කටයුතුවල දෛනිකව නියලෙන තත්වයක් තුළ එම රෝගීන් වාර්තාවීම සිදුවී ඇති බව බලශක්ති අමාත්‍යතුමන්ගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.