නවතම ප්‍රවෘත්ති

දකුණ නම් සරිත් වම නම් සුරිත් සරිත් – සුරිත් කියන කතා

2012 වසරේ සිරස රූපවාහිනී නාලිකාවෙන් ‘පොඩ්ඩන්ට පුළුවන්’ නමින් හරි අපූරු රියැලිටි තරඟයක් ආරම්භ කළා. එදා ලංකාව වටෙන්ම විවිධ දක්ෂතා තිබුණු දරු දැරියෝ බොහෝමයක් එයට සහභාගි වුණා. හැබැයි ජයග්‍රහණය කළේ වාදන අංශයෙන් එම තරඟයට ඉදිරිපත්වෙලා හිටපු වයස අවුරුදු 11ක් වුණු නිවුන් පොඩ්ඩෝ දෙන්නෙක්. ඒ ජයග්‍රහණයත් එක්ක ඔවුන් රටේ ජනප්‍රිය තරු දෙකක් බවට පත්වුණා. එයින් වසර 4ක් ගිය තැන දෙදෙනා එකතුව ‘NEWS’ නමින් සංගීත කණ්ඩායමක් ආරම්භ කළා. කෙටි කලක් තුළ ‘NEWS’ සංගීත කණ්ඩායම මෙරට ජනප්‍රිය සංගීත කණ්ඩායම් අතරට ගෙන එන්නත් ඔවුන් සමත්වුණේ ඔවුන්ගේ ජනප්‍රියත්වය ඊට ඍජුවම ආශිර්වාදයක් බවට පත්කරගෙන. ඉන් අනතුරුව ‘සල්ලි’ නමින් පසුගිය වසරේ එළිදැක්වූ අලුත්ම ගීතයත් සමඟින් ඔවුන්ගේ ජනප්‍රියත්වය අතිශය ඉහළ ගියේ ‘ශෝ එකක් නම් සරිත් සුරිත්’ කියන තැනට තමන්ගේ නම සන්නාමයක් බවට පත්කරගෙන. ඒ නිසාම අපිත් හිතුවා මේ අයියා මලෝ එක්ක ටිකක් කතා කරන්න. අපේ කතාබහට එකතුවුණේ සරිත්.

 

*දැන් සරිත් සුරිත්ලා අල්ලගන්න සෑහෙන්න අමාරුයි නේද?

(සිනාසෙමින්) ඇත්තටම මේ දිනවල එකදිගටම වගේ ප්‍රසංග තිබුණා. ඒ එක්ක කාර්යබහුල වුණා.

 

*‘ශෝ නම් සරිත් සුරිත්’ කියන තැනට දැන් ‘NEWS’ සංගීත කණ්ඩායම පත්වෙලා. ගොඩාක් සතුටු ඇති නේද?

මම දන්නේ නෑ මිනිස්සු එහෙම කියනවද කියලා නම්. එහෙම කියනවා නම් සතුටුයි. ඇත්තටම මං හිතන දෙයක් තමයි සරිත් සුරිත්ලාට ආස කරන, හැඩගැහුනු පිරිසක් වෙනම ඉන්නවා. අපට ඕන ඒ පිරිස ප්‍රසංගයෙන් ප්‍රසංගයට වැඩිකරගන්න. ඒ වැඩේ අපි හරියටම කරනවා කියලා හිතනවා. ඒ වෙනුවෙන් අපි හුඟාක් මහන්සි වෙනවා. හුඟාක් කැපකිරීම් කරනවා. නිතරම අපි බලන්නේ කරන වැඩේ ප්‍රමිතියටම කරන්න. ඒ වෙනුවෙන් සංගීත කණ්ඩායමේ අනෙක් සාමාජිකයින්ගෙන් ලැබෙන සහයෝගයත් මේ වෙලාවේ මතක් කරන්න ඕන.

 

*සරිත් සුරිත්ලා බිහිවුණේ සිරස පොඩ්ඩන්ට පුළුවන්’ රියැලිටි වැඩසටහනින්. ඒ අතීතය ගැන කිව්වොත්?

ඔව් ඒ තරඟය අපි ජයග්‍රහණය කළා. ඊටපස්සේ අපිට අපේ දක්ෂතාවන් හැකියාවන් පෙන්වන්න විවිධ අවස්ථා ලැබුණා. ඒ අතරවාරේ තමයි අපේ NEWS සංගීත කණ්ඩායම පටන්ගත්තේ. සංගීත කණ්ඩායම පටන්අරන් දැන් අවුරුදු 9ක් වෙනවා.

 

*ඒ හැමදේටම තාත්තගෙන් ලොකු සහායක් ලැබුණලු නේද?

ඔව්. අපේ තාත්තා ජගත් ජයවර්ධන. එයත් එදා ඉඳන්ම සංගීතය එක්ක ඉන්න කෙනෙක්. අපි අද මේ විදියට සංගීතයෙන් ඉදිරියට එන්න ඒ ආභාෂයත් සෑහෙන්න බලපෑවා කියලා විශ්වාස කරනවා. අපේ හැරවුම් ලක්ෂයක් වුණු ‘සල්ලි’ කියන ගීතයත් ලිව්වේ අපේ තාත්තා. ඔහුගෙන් ලැබෙන සහයෝගය කියලා ඉවර කරන්න බැහැ.

 

*සරිත් කියපු විදියට ‘සල්ලි’ ගීතය සංගීත ජීවිතයේ ලොකු හැරවුම් ලක්ෂයක් වුණා නේද?

ප්‍රධාන හැරවුම් ලක්ෂයක් වුණා. ඒක ‘කොඩි ගහ යට’ ටෙලිනාට්‍යයට යොදාගැනීමත් එක්ක අපටත් හිතාගන්න බැරි විදියට ප්‍රතිචාර එන්න ගත්තා. මේ වෙනකොටත් ‘සල්ලි’ ගීතය යූටියුබ් එකේ මිලියන 40කට වැඩිය නරඹලා තියෙනවා.

 

*පසුගිය වසරේ ‘සල්ලි’ ගීතයට සම්මානයක් එහෙමත් ලැබුණා?

දෙරණ ColseUp 2004 මියුසික් වීඩියෝ සම්මාන උළෙලේ වසරේ ජනප්‍රියම මියුසික් වීඩියෝවට හිමි රිදී සම්මානය ලැබුණේ සල්ලි ගීතයට. එහි රූප රචනය සිදුකරපු සංදේශ් බණ්ඩාරත් මතක් කරන්න ඕනේ.

 

*ඒ ගීතයට පස්සේ කරපු ගීතයත් ඒ වගේම ජනප්‍රිය වුණා?

ඔව් ‘කාසි සබන් පෙණ’ ගීතය. ඒක නම් කළේ ‘සිහිනයකි ආදරේ’ චිත්‍රපටය වෙනුවෙන්. ඒකත් මේ වෙනකොට යූටියුබ් එකේ මිලියන 29කට එහා නරඹලා තියෙනවා. ගීතය ලිව්වේ ටිරෝන් පෙරේරා. ඒක සංගීතවත් කළේ පසන් ලියනගේ.

 

*ප්‍රසංග වේදිකාවේ අමතක නොවන සිදුවීම් එහෙම වෙලා නැද්ද?

ඇත්තටම ප්‍රසංග වේදිකාව උඩ ගතවෙන හැම දවසක්ම අපට විශේෂයි. ඒ හැම දවසක්ම අපට අමතක වෙන්නේ නෑ.

 

*සරිත් සුරිත්ලාට වැඩිපුරම කැමති තරුණ ගෑනු ළමයි කියලා දැනිලා නැද්ද?

(සිනාසෙමින්) මට හිතෙනවා පොදුවේ හැමෝම කැමතියි. හැබැයි ඒ අතරිනුත් පොඩි ළමයි අපට ටිකක් වැඩිපුර කැමතියි කියලා මට හිතෙනවා.

 

*අපට නොකිව්වට සරිත් සුරිත්ලාට කැමති විශේෂ තරුණියෝ දෙන්නෙකුත් ඇති?

මේ වෙද්දි අපි දෙන්නා හිතන්නේ සංගීතය ගැන විතරයි. අංක එක සංගීතය. ආදරේ කරන්න තව වයස තියෙනවා.

 

*සරිත් සුරිත් පෙනුමින් එක සමානයි. මිනිස්සු මේ සරිත්, මේ සුරිත් කියලා අඳුනගන්නේ එහෙම කොහොමද?

වොච් එක බඳින අතින් තමයි. මම සාමාන්‍යයෙන් වොච් එක බඳින්නේ දකුණේ. හැබැයි මල්ලි සුරිත් වොච් එක බඳින්නේ වමේ.

 

*දැන් සරිත් සුරිත්ලට අලුත් ගීතයක් එහෙම කරන්නත් කාලේ හරි නේද?

(සිනාසෙමින්) ළඟ ළඟ අලුත් ගීතයක් එනවා.

 

රුවන් එස්.සෙනවිරත්න