News

දඹදිව තවත් 829 ක් හිරවෙලා

දඹදිව වන්දනාවේ ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් 829 දෙනකු තවමත් ඉන්දියාවේ රැඳී සිටින බව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර ඊයේ (19 වැනිදා) පැවැසුවේය.

මෙම ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම පිළිබඳව ඊයේ (19 වැනිදා) පෙවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එම ශ්‍රී ලාංකිකයන්ගෙන් 672ක් දිල්ලි ගුවන් තොටුපොළ අසලද 157ක් චෙන්නායි ගුවන් තොටුපොළ අසලද රැඳී සිටින බව ලේකම්වරයා අවධාරණය කරයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා නවදිල්ලි නුවරට සහ චෙන්නායි නුවරට යොමු කරමින් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අවධානය යොමු කර ඇති බවද ඔහු පැවැසීය.

ඒ සඳහා ජනාධිපති උප​දේශක ලලිත් වීරතුංග ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ විදේශ සබඳතා අමාත්‍යාංශයද ඒකාබද්ධව සුදුසු පියවරක් ගන්නා බව මෙහිදී සඳහන් විය.

කෙසේ වෙතත් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඊයේ (19 වැනිදා) අලුයම 4.00ට වසා දමනු ලැබීය. වසාදැමීමට පෙර අවසන් වරට අලුයම 3.40ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ගුවන් යානයක් පැමිණ ඇත. එම ගුවන් යානයෙන්ද පැමිණ ඇත්තේ දඹදිව වන්දනාවේ ගිය පිරිසකි.

උදයජීව ඒකනායක