News

දඹුල්ලේ පොල්තෙල් ගබඩා 2ක් සීල් තබයි

විදේශයන්ගෙන් ගෙන්වා පොල් තෙල් සහ පාම් තෙල් තොග අලෙවි කරන දඹුල්ලේ ස්ථාන දෙකක් ඊයේ (24වැනිදා) පස්වරුවේ සීල්තබා පරීක්ෂා කිරීම සඳහා තෙල් කොටස් ලබාගත් බව මාතලේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු පවසති.

මෙම තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 60ක් බව වැටලීම් නිලධාරීහු අනාවරණය කරති. මාතලේ පාරිභෝගික අධිකාරියේ ප්‍රධානී රේණුක කුමාර ඇතුළු කණ්ඩායමක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ මහා පරිමාණයෙන් පොල් තෙල් අලෙවි කරන ස්ථානයක කළ පරීක්ෂාවකදී ගෙන්වූ ආයතනයක් නමක් හෝ ලියකියවිල්ලක් නොමැති රුපියල් ලක්ෂ තිහකට ආසන්න පොල් තෙල් සහ ෆාම් ඔයිල් තොගයකට මුද්‍රා තැබීමට පියවර ගනු ලැබීය.

මෙම ස්ථානයේ භූගත සහ ඉහළ සවිකොට තිබූ පොල්තෙල් හා ෆාම් තෙල් ගබඩා ටැංකි පරීක්ෂා කොට බැලීමේදී ඒවායේ විවිධ මියගිය කෘමීන් ගේ කොටස් මෙන්ම මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ එම ටැංකි පැවැති බව අනාවරණය විය.

ඒ අනුව එම ස්ථානයේ තෙල් අලෙවිය තාවකාලිකව නවතා දමා මුද්‍රා තැබීමට කටයුතු කළ බව මතලේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු පවසති.

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ තවත් පොල් තෙල් තොග අලෙවි කරන ස්ථානයක් පාම් තෙල් සහ පොල්තෙල් යම් මට්ටමකින් කලවම් වන බව අනාවරණය කර ගැනීමත් සමග එම ස්ථානයේ අලෙවිය ද තාවකාලිකව නවතා මුද්‍රා තබා ඇත.

මෙසේ ලබාගත් තෙල් සාම්පල් කොටස් කොළඹ පාරිභෝගික අධිකාරියට ලබා දී මිනිස් පරිභෝජනයට සුදුසුද නැද්ද යන්න පරීක්ෂා කිරීම කරන බව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු පවසති.

කේ.කේ. අරියදාස-දඹුල්ල