News

දින 74ක් තුළ රියැදුරු බලපත්‍ එක්ලක්ෂ හතළිස් හයදාහක් නිකුත් කරලා

වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය ඇතුළු රියැදුරු බලපත් මුද්‍රණය කිරීමේ මධ්‍යස්ථාන ත්‍රිත්වය තුළ ගතවූ දින හැත්තෑ හතරක කාලයේ රියැදුරු බලපත් එක්ලක්ෂ හතළිස් හයදහස් හයසියපනස් හතරක් මුද්‍රණය කර ඇත.

ජනවාරි 01 වැනිදා සිට මාර්තු 15 වැනිදා තෙක් කාලය තුළ ශ්‍රී ලංකා යුද හමුදාව මෙම මුද්‍රණ කටයුතු සිදුකර ඇතැයි රියැදුරු බලපත් කොමසාරිස් ඩිලන්ති වාසනා සිරිවර්ධන ඊයේ (16දා) පැවසුවාය. වේරහැර කාර්යාලය මගින් බලපත්‍ර එක්ලක්ෂ විසි අටදහස් හත්සිය හැටහයක් (128,766) ක් ද අනුරාධපුර හා හම්බන්තොට මෝටර් රථ ප්‍රවාහන කාර්යාල හරහා දාහත්දහස් අටසිය අසූඅටක් (17,888)ක් ද වශයෙන් මුද්‍රණය කර ඇතැයි කොමසාරිස්වරිය සඳහන් කළාය. එමෙන්ම වේරහැර කාර්යාලය සඳහා පමණක් රියැදුරු බලපත් අලුත් කිරීම, නැති වූ බලපත් නැවත සකස් කරගැනීම, නව බලපත්‍ර ලබා ගැනීම ආදී කටයුතු සඳහා දෛනිකව 1500ක පිරිසක් ඇතුළත් කරගන්නා බවත්, හඳුන්වා දී ඇති දින වෙන්කර ගැනීමේ ක්‍රමවේදයට අනුව සිදුවන බවත් ඇය කියා සිටියාය.

එෆ්. අස්ලම්