News

දියමන්තියට කරන්නේ කුමක්ද? – තීරණය නීතිපති අතේ

රුපියල් කෝටි හත්සියයක් වටිනා බව කියන මාකඳුරේ මධුෂ්ගේ කල්ලිය ඇරැව්වලින් කොල්ලකෑ දියමන්තිය රාජසන්තක කරනවාද නැද්ද යන්න තීරණය කිරීමට පොලිස් මූලස්ථානය නීතිපති උපදෙස් පතා ඇත.

ග්‍රෑම් එකසිය හතළිහක් බරැති මෙම දියමන්තිය මාකඳුරේ මධුෂ්ගේ රහස්‍ය මෙහෙයුම් කළ කැවුමා නමැති අපරාධකරු විසින් පානදුරේ කෙසෙල්වත්තේ නිවසක සඟවා තිබියදී පසුගියදා පෑලියගොඩ කොට්ඨාස අපරාධ ඒකකයට හසුවිය.

මෙහි වටිනාකම තීරණය කිරීම සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය එම දියමන්තියෙන් මිලිග්‍රෑම් තුන්සියයක් සූරා ඉවතට ගත යුතු බව දැන්නුවත් එහි හිමිකරු ලෙස පෙනී සිටින ඇරව්වල ව්‍යාපාරිකයා ඊට අකැමැති වී ඇත.

මෙම දියමන්තිය මෙරටට ගෙන ආ ආකාරය ඔප්පු කළ හැකි සාධක නොවීමත්, මෙවැනි දියමන්තියක් ළඟ තබා ගැනීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් තිබිය යුතු වීමත් නිසා මෙය එහි හිමිකරුට දෙනවාද රාජ සන්තක කරනවාද යන්න පිළිබඳ නීතිපති උපදෙස් පැතූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා