දෙවියො බුඳුන් වඳින අත්දෙකෙන් වැඳලා ඉල්ලන්නෙ මගේ පුතාව බේරලා දෙන්න
රජකාලේ මිහිදන් වුණු අතීත කතාවක අග මුල විමසමින් ඉන්න අතරතුරේ රජවරු මිහිදන් කරපු සොහොන් කොතක් හොයාගෙන පහුගිය සතියේ අපි අස්ගිරියට ගියා. දළඳා මාලිගාවට නුදුරින් මහනුවර නගරයේ පිහිටලා තියෙන අස්ගිරිය ආදාහන මලුව නිරීක්ෂණය කරන එකයි අපේ අරමුණ වුණේ. ඒ කාලේ මහනුවර, අගනුවර කරගෙන ජීවත්වෙච්ච රජවරු 13 දෙනා වගේම ඒ ඇත්තන්ගේ බිසෝවරුත් ආදාහනය කරලා තියෙන්නේ එතැන කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ.
ඔය විදියට මල මිනිස්සු ගැන විස්තර විමසන්න අස්ගිරියට ගියපු අතරේ අපිට ප්‍රියදර්ශනී මුණගැහුණා. ප්‍රියදර්ශනී කියන්නේ තරුණ අම්මා කෙනෙක්. රජෙක් වගේ ජීවත් කරවන්න හීන මවපු ඇගේ පුංචි පුතාට ජීවත්වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ තව ටික දවසක් බව ඇය අපිට කිව්වේ බොහොම අමාරුවෙන් කඳුළු හංගාගෙන. ඒ නිසා අස්ගිරියේ මිහිදන්වුණු රජවරු ගැන කියන්න කලින් ජීවිතයත් මරණයත් අතර සටනක නිතර වෙලා ඉන්න අස්ගිරියේ ප්‍රියදර්ශනීගේ පුතා ගැන ඔබට කියන එක අපේ යුතුකමක් කියලයි අපි හිතුවේ.
මේ පුංචි පුතාගෙ නම තිශේන් හිරුසර දෙව්මිත්. පුතාට තාම වයස අවුරුදු 3යි මාස 10යි. බැලූ බැල්මට කිසිම අසනීපයක් පේන්න නොතිබුණත් ප්‍රියදර්ශනී කියපු විදියට තිශේන් පුතා මේ වෙද්දී මහා තැලසීමියා රෝගයේ ගොදුරක් බවට පත්වෙලයි ඉන්නේ.
“පුතාට වයස අවුරුද්දක් විතර පිරෙනකොට එකපාරම කෙට්ටුවෙන්න ගත්තා. හරියට මන්දපෝෂණය හැදිච්ච දරුවෙක් වගේ. ඇඟේ ඇටකටු ටික විතරයි. මේ වයසෙ දරුවො කෑමට කොහොමත් ටිකක් හොර නිසා මං හිතුවේ අඩුවෙන් කෑම කන නිසා කෙට්ටු වුණා කියලා. හැබැයි ටික දවසක් යනකොට දරුවාගේ බඩත් ඉදිමෙන්න ගත්තා. ඊටපස්සේ තමයි මං පුතාව පේරාදෙණිය ඉස්පිරිතාලෙට එක්ක ගියේ. එහෙදි පරීක්ෂණ වගයක් කරලා ඉවරවෙලා තමයි කිව්වේ පුතාට මහා තැලසීමියාව කියලා.”
තැලිසීමියාව කියන්නේ රුධිරයේ තියෙන හිමොග්ලොබින්වල ප්‍රෝටීන කොටස විදියට සැළකෙන ග්ලොබින් නිෂ්පාදනය අඩුවීම හින්දා ඇතිවෙන රක්තහීනතා තත්ත්වයක්. ඒ නිසා ලෙඩේ හැදුනු කෙනෙක්ට නිතරම ලේ දෙන්න ඕනේ. ඉතින් තිශේන් පුතාටත් එදා ඉඳන් සති තුනෙන් තුනට ලේ දෙන්න පටන්ගත්තාලු.
“පේරාදෙණිය ඉස්පිරිතාලෙදි තමයි ලේ දෙන්නේ. එහෙම ලේ දෙන වාරයක් ගානේ ශරීරයේ තැන්පත් වෙන යකඩත් දවස් කීපයකට සැරයක් අයින් කරන්න ඕන. ඒ විදියට යකඩ තැන්පත් වෙන්නේ ලොකු අයගේ ලේ දෙන හින්දා. යකඩ වැඩිවුණාම ඒක හදවතට බලපානවා කියලායි වෛද්‍යවරු කිව්වේ.”
ප්‍රියදර්ශනීගේ මේ දුක සැප බෙදාගන්නට ගෙදර ඉන්නේ ඇගේ අම්මා විතරයි. සැමියා ඔවුන්ව හැර ගිහින්. ඒ නිසා දරුවගේ අසනීපය වෙනුවෙන් කරන හැමදේම ඇයට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ තනියම.
“පුතාගේ ඇඟේ තැන්පත් වෙන යකඩ අයින් කරන්නේ ඉස්පිරිතාලෙන්. ඒක ගෙදරදි කරන්න පුළුවන් මැෂින් තිබුණත් මගේ ගාව එයින් එකක් නෑ. ඉතින් ඉස්පිරිතාලේ ගියාම කරන්නේ ඒ මැෂින් එකක් බඩට හයිකරලා පෙකණිය ගාවට කට්ටක් ගහලා බේත් එකක් විදින එක. ඊටපස්සේ උදේට මුත්‍රා එක්ක යකඩත් පිටවෙනවා. ඒ නැත්නම් සේලයින් එකකට බෙහෙතක් දාලා ඒක පුතාට දෙනවා. ඒකට පැය 12ක වගේ කාලයක් යනවා. ඒකෙන් වෙන්නෙත් මුත්‍රා එක්ක යකඩ පිටවෙන එක. මගේ පුතා මේ අසනීපය එක්ක විඳින්නේ නම් පුංචිපහේ දුකක් නෙවෙයි.”
වෛද්‍යවරු කියන විදියට තිශේන් පුතාව සුව කරන්න නම් ඇටමිදුළු බද්ධයක් කරන්න ඕනෙලු. මේ වෙනකොට අපේ රටේ රජයේ රෝහල්වල නොමිලේ ඒක කරන්න පහසුකමක් නෑ. ඒක නිසා ඔවුන්ට ඒක කරන්න වෙලා තියෙන්නේ පෞද්ගලික රෝහලකින්. හැබැයි ඒකට ලක්ෂ 180ක විතර මුදලක් යනවලු.
“ඩොක්ටර්ස්ලා කියනවා පුතා තවමත් ඉන්නේ සුව කරන්න පුළුවන් මට්ටමේ කියලා. ඒ කියන්නේ පළමු පියවරේ. ඒත් දෙවැනි පියවරට ගියොත් අමාරුලු. ඒක නිසා පුළුවන් ඉක්මනට ඇටමිදුලු බද්ධ කරන්න ඕන කියලා මාව දැනුවත් කරලා තියෙනවා. ඔක්කොමත් හරි දැන් අපට ලොකුම ප්රශ්නය වෙලා තියෙන්නේ සල්ලි. මං දැනට හැමදේම කරන්නේ පෞද්ගලික ආයතනයක පොඩි රැකියාවක් කරලා. ඉන්නේ කුලී ගෙදරක. ඉතින් ලක්ෂ 180ක් කියන්නේ මට ලොකු මුදලක්. තනි මං මොනවා කරන්නද කියලා මං මේ වෙද්දි දහඅතේ කල්පනා කරනවා. ඒ වුණත් මගේ රෝස මල බේරගන්න මට පුළුවන් හැමදේම මං කරනවා.”
ප්‍රියදර්ශනී එහෙම කියද්දි මට ඉබේම බැලුනේ පුංචි පුතාගෙ මූණ දිහා. මේ මුකුත් නොදන්න තිශේන් පුතා අම්මගේ උණුහුමට ගුලිවෙලා හුරතල් විදියට හිනාවෙනවා. ඉතින් ඒ හුරතල් හිනාව පරිස්සම් කරගන්නයි ප්‍රියදර්ශනී අපෙන් උදව් ඉල්ලන්නේ. මේ වෙලාවේ ඔබ දෙන රුපියල් පනහ සීයත් ප්‍රියදර්ශනී කියන විදියට ඔවුන්ට මහමෙරක්. ඉතින් තිශේන් පුංචි පුතාගේ හුස්ම ටික පරිස්සම් කරන්න මොකක් හෝ උදව්වක් කරන්න පුළුවන් නම් කතා කරලා බලන්න. මේ තමයි ඒ නොම්මරේ. 0777732424
“දෙවියන්ට බුඳුන්ට වඳින අත්දෙකෙන් වැඳලා ඉල්ලනවා මගේ පුතාව බේරලා දෙන්න. ඒ පිනෙන් සංසාරේ කිසිම දවසක ඔබට බෙහෙත් පෙත්තක් බොන්න වෙන අසනීපයක් නම් හැදෙන්න එපා කියලා මං ප්‍රාර්ථනා කරනවා.”
ඒ තමයි මේ සංවාදයේ අවසන් වරට ප්‍රියදර්ශනී ඔබෙන් කළ ඉල්ලීම…
රුවන් එස්.සෙනවිරත්න